නිදහස් මතවාදිත්වය

නිදහස් මතවාදිත්වය

Monday, November 3, 2014

ගැබිබර ජාතිවාදය

ගැබිබර ජාතිවාදය




ගැබිබර ජාතිවාදය
වැඩිහිටියාගේ ප‍්‍රශ්නය

ඇසෙන නෑසෙන
දර්ගා අහස ගුගුරුවන දෝංකාරය
මනසින් මසසින් ඇසිය යුතු
මතු නොඅසන්නටය
තිදශකයේ මලකුණ වැළලු තැන
ලගින පර කපුටන් ජාතිකවාදයේ නපුංසකත්වය කැටුව
හිරිකිත සංසර්ගයේ සුරතාන්තය සොයති
වද යෝග පිළිනොගත් පරදේස දූෂකයෝ නොකැමැති ගර්භාෂය මතුයෙහි
අන්තවාදී ධාතු තැන්පත් කරන සපල දින සති දනිත්
බෙදුමිවාදයේ ගැබිණිය ගැබ නොරිදා
සෙමෙන් ඔසවන පා දැකුමි
රිසි දනන් තම අසුන් කලුකාසි පිරිණමති
සඵල දරු ගැබෙි සිහින් පක්‍ෂපාත සැර වැර පා වැර පිරික්සුම වස්
වින්නඹු පිල්ලේ දින සටහන් ලිපි ලියති
මූලධර්මවාදී දොලදුක් සංතෘප්තියේ නිඝන්ඨවාදී ආශාවන් වෙනුවෙන්
ජීවිතදාන පූජාවන් සාධු සමිමත අගයන්
පරිභවයට වෙන් කෙරෙති
දිනෙන් දින නෙරන උදරය බැලූ බැල්මෙි
එක් උපතක් නොව
නිවුන්, තුන්නිවුන්, සිවි, පස් නිවුන්
ගැනීම දරුස්මාන්ට වඩා උගහට වනු නිසැක
දෙමුහුන් ජාතිකවාදී යුක්තානුවෙි මෙිරූ ගැබ් ඵලය
මුසල්මානු සිහල පරෙවි වෙසින් ප‍්‍රසූත
පර කපුටු ජාතිකවාදයේ අන්තවාදයේ පරිපෝෂණයම ද ?

පොඩිහිටියාගේ පිළිතුර

පද්මා යැයි සිහින් රැව් දුන්
පද්මිනී පන්තියේ පරම මිතුරු පාතිමාගේ
අත් බැද නිදහස් චතුරසේ සිව් කොනින්
එසවුණු සුදු පරෙවි රෑන
තල්ගසේ අතු පතර
පිපුණු අරලියා මලේ සුදින්
අඩහද තරු එලියකොට
දර්ගා අහසේ දහම් වැස්සෙන්
එල්ලූ තේරු පෙරහැරේ චිත‍්‍රය
ලෝක සිතුවමි උළෙලක රන් තිලිණය
මුතු ඇටයේ ගෙල පැළැන්දුව
අපූර්ව සිංහාවලෝකනය
මගේ
පුංචි
රටයි....





                                    යූ . එ් . රුවන් කුමාර  (BA.sp.(hon), MA- peradeniya, HRM.dip)

 

බඹර වළල්ල, 2010 සිට 2015 දක්වා

බඹර වළල්ල, 2010 සිට 2015 දක්වා


බඹර වළල්ල සිනමා කෘතිය තුළින් විදහා දැක්වීමට උත්සාහ කළ සමාජ    යථාර්තය විචාරයට
2010 සිට 2015 දක්වා

                         
හැඳින්වීම

          සිනමාව හුදෙක් විනෝදය විසූක දස්සනය පමණක් නොව එය ප‍්‍රශස්ත රසවින්දනයක් සඳහා වූ නිමිත්තකි.හොලිවුඩයෙන් ආ එළිෆන්ට් බෝයි, චින්තාමනි, දුලසි, බයිස්කෝප් වේ.බර්ග්මාන්ගේ ෆැනී ඇන්ඞ් ද ඇලෙක්සැන්ඩර්, කුරෝසොවගේ රෂෝමෝන්, සත්‍යජිත් රායිගේ පාතර් පංචලී, සිනමා කෘතීන්ය.මේ සෑම දෙයක්ම චිත‍්‍රපට ලෙස සාමූහිකව හැඳින්විය හැකිය.මේ අතර කලාත්මක මෙන්ම වාණිජ චිත‍්‍රපටද ඇත.ඒවා වින්දනය හා විනෝදය සඳහාද වේ.මේ නිසා චිත‍්‍රපටය අත්‍යවශ්‍යයෙන්ම ජනතාවාදී කලාවක් සේ දැක්විය හැකිය.කෙසේ වෙතත් උසස් රසයක් හො හරයක් හුදී ජනතාව වෙතට සන්නිවේදනය කළ හැක්කේ ප‍්‍රකාශනයේ ඇති නිරවුල් බව හා සරළ බව තුළිනි.

                මේ තුළින් සිංහල සිනමාව තුළ මෑතකදී බිහිවූ බඹර වළල්ලට හිමි ස්ථානය කුමකද? යන්න පිළිබඳව විවිධ විචාරක ප‍්‍රබුද්ධිය අවදි කර ඇත.මෙම ලිපිය තුළින් බඹර වළල්ල තවත් එක් සිනමා කෘතියක් පමණක් ද යන්න පිළිබඳව අවධාරණය කරනු ලබයි.අතුල ලියනගේ ගේ බඹර වළල්ල සිනමා කෘතිය විනදනාත්මක කලා කෘතියක් වශයෙන් සමාජයට ඉටුකරනු ලබන කාර්යය සේම එය හුදෙක්ම සමාජ යථාර්තය විවරණය කර බැලීම මෙහි අරමුණ වේ.හුදු විචාරයක් පමණක් නොව දාර්ශනික ලෙස සෞන්දර්යය කලාව තුළ බඹර වළල්ල සිනමා කෘතිය තුළින් සමාජ යථාර්තය හුවා දක්වන ආකාරය පිළිබඳව යම් කථිකාවක් ගොඩ නැගීම මෙම ලිපිය තුළ සිදුකර ඇත. 

කලාව සහ සිනමාව

           මිනිසා සෞන්දර්යය හා සම්බන්ධ වීම කාල වකවානු තුළ ගොනු කළ නොහැකි පරාසයක් තුළ පැතිරෙන්නක් වන්නේ එහි ඇති පුළුල් සහ සංකීර්ණත්වය නිසාවෙනි.මේ නිසාවෙන් කලාව පිළිබඳ විවිධ විචාර මතයන් ඉතිහාසය පිරික්සීමේදී දැකගන්නට ඇත.18 වන සියවසේ විනෝදාස්වාද මාධ්‍ය බිහිවූ අතර ඒ තුළින් සෞන්දර්යය ක්‍ෂේත‍්‍රය පිළිබඳ නව ආකල්ප ගොඩනැගුණි.කලාව පිළබඳ නව අදහස් රාශියක් ඉදිරිපත් කර ඇත.ඇරිස්ටෝටල්ට අනුව

”කලාව යනු හැඟීම්හි පරිශෝධන බවයි.”

                එනම් කලාවේ පරමාර්ථය ලෙස ඔහු දකින්නේ අවුල් වී ඇති මිනිස් හැඟීම් පිරිසිදු කර එක් අරමුණක් කරා ගෙනඑ්ම බවයි. කාල් මාක්ස් හා ඔහුගේ අනුගාමිකයින් කලාව දකින්නේ මෙලෙසිනි.

”කලාව සෞන්දර්යාත්මක රසවින්දනයන් ලබා දෙන මනඃකල්පිත නිර්මාණයක් නොව පුද්ගල සමාජය වෙත යථාර්ථය විදහාපාන විද්‍යාවක් මෙන්ම සමකාලීන සමාජයේ ආර්ථිකය හා සමාජ තත්වය විදහාපාන්නකි.”

                දාර්ශනිකයකු මෙන්ම සුප‍්‍රකට බුද්ධිමතකු වූ ලියෝ ටෝල්ස්ටෝයි කලාව පිළිබඳ මෙසේ දක්වා ඇත.

”කලාව යනු මිනිසා විසින් දියුණු කරගනු ලැබූ උත්කෘෂ්ඨ වූද, සම්භාව්‍ය වූද , වේදිතයන් අන්‍යයන් වෙත සම්පේ‍්‍රශණය කිරීම අරමුණු කොටගත් මානව කි‍්‍රයාවලියකි.”

                කෙසේ වුවත් මෙම නිර්වචන දෙස බැලීමේදී කලාව සැබවින්ම පුද්ගලයාගේ ඥානය, ආශාව, හැඟීම යන විඥානය අවධි කරවන මාධ්‍යයක් ලෙස කොම්ෙටිට අනුව පෙන්වා දිය හැකිය.මේ හරහා දාර්ශනික ප‍්‍රශ්න ලෙස සෞන්දර්යය විද්‍යාවේ හදුනා ගනු ලැබූ කලාව කලාව සඳහා ය, කලාව සමාජය සඳහාය යන ප‍්‍රශ්න අතුරින් කලාව සමාජය සඳහාය යන ප‍්‍රශ්නය මූලිකව මෙම බඹර වළල්ල සිනමා කෘතිය ගොනු කරනු ලැබේ.

              මිනිස් රසඥතාවය අවධි කිරීමෙහිලා කලාවේ පරම අභිලාෂයක් වන සමාජයට යම්දෙයක් ලබා දීම යන කාරණය මූලිකව අන් කලාවන්ට වඩා සිනමාව ඉදිරියෙන් සිටී. මෑතකදී ආරම්භ වුවත් එය වත්මන් සමාජය තුළ ප‍්‍රබල කාර්්‍යයක් ඉටුකරනු ලබයි.වත්මන් ලාංකීය සිනමාව පිළිබඳ විවිධ කථිකාවත් ඇත.සිනමා නිර්මාණයක් සමාජයේ යථාර්තය එළි දක්වන සමාජයට සේවාවක් කිරීමේ අරමුණෙන් කළ හැකිය.එමෙන්ම වාණිජ පරමාර්ථ මූලිකව ද සිදුකළ හැකිය.මේ දෙකම අයත් වූ චිප‍්‍රපටද විය හැකිය.මේ දෙකම අහිමි චිත‍්‍රපටද තිබිය හැකිය.කෙසේ වුවත් මෑතකදී බිහිවූ සමාජ යථාර්තය එළි දක්වන සිනමා නිර්මාණයක් ලෙස බඹර වළල්ල පෙන්වා දිය හැකිය.යථාර්තය සාමාන්‍ය කරණය වී ඇති සමාජයයේ එහි ඇති සංවේදීතාව මෙම කලා කෘතිය තුළින් සමාජය පිළිබඳ මසැස හා මනැස අවධි කරන්නට සමත් වී ඇත.අප දකින සමාජ වටපිටාවට වඩා එපිටින් ඇති ලෝකය පිළිබඳව සිදුවන සිදුවීම් පිළිබඳව යථාර්තය අවබෝධ කර ගැනීමට අතුල ලියනගේ බඹර වළල්ල සිනමා කෘතිය කෙසේ විවරණය කර ගත හැකිද යන්න සලකා බැලීම වටී.


බඹර වළල්ල , සමාජ යථාර්තය හා අද දවස

                 කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළින් රසවිඳිය හැකි අතර විචාරය කළහැකිය . ඒ අනුව ගෝණමඩිත්තේ පොඩි එකා සහ මැල් මහත්තයා විසින් පණ පොවන මෙම සිනමා කෘතිය විවිධාකාර කෝණ තුළින් අපට බඹර වළල්ලේ අර්ථයන් කියවීමට හැකිවේ.ඒක් අතකින් අපට මාක්ස්වාදී කියවීමක් කිරීමට හැකිය.පොඩි එකාගේ සිට රාළහාමි දක්වාම මාක්ස් වාදී අදහස් තුළින් ඉදිරිපත් කරන සමාජ න්‍යය සංකල්ප ඔස්සේ යමින් මාක්ස්වාදී කියවීමක් මෙම සුවිශේෂී නිර්මාණය තුළ දැක ගන්නට හැකිය. විශේෂයෙන්ම මාක්ස්ගේ පංති විග‍්‍රහයේ සිට බලන විට බඹර වළල්ලේ ඇති සෑම චරිතයක්ම ධනපති පංතියේ බලය විසින් නිර්ධන පංතියේ ශ‍්‍රම සූරාකෑම නිරූපණය කරන්නකි.මාක්ස් වාදී ආකෘතිය තුළ ප‍්‍රාග්ධනය යන කාරණය ආර්ථික සාධක හරහා මෙම පංති දෙකේ ගැටීම තුළින් බඹර වලල්ල කියවීමට හැකිය.

               මනෝ විශ්ලේෂණවාදී ආකෘතියක් මඟින් සිග්මන් ප්‍රොයිඞ් හා ලැගාන් දැක්වූ න්‍යාය ආශ‍්‍රයෙන්ද බඹර වළල්ල තවත් අයෙකුට කියවිය හැකිය.ප්‍රොයිඞ් දැක්වූ ඉඞ්, ඊගෝ, සුපර් ඊගෝ යන මනසේ ආකෘතිය හරහා පොඩි එකාගේ සිට සෑම චරිතයක්ම කියවිය හැකිය.මෙවන් අවස්ථාවලදී පුද්ගලයකු ක‍්‍රියා කරන ආකාරය පිළිබඳව පැහැදිලිව මෙම සිනමා කෘතිය තුළ දකින්නට ලැබේ.

                 මෙහි පැහැදිලිවම පරිසර සාධකත් සමඟත් කියවීමට හැකියි.එනම් මිනිසුන් වෙනස් කරනුයේ පරිසර සාධක මත බව මෙහිදී පැහැදිලිව දක්වා තිබෙන කාරණයක්.පොඩි එකා ගත කරන ජීවිතය ඇතුලේ විවිධ පාරිසරික සාධක වෙනස් වන ආකාරයත් සමඟ පුද්ගල චර්්‍යාවන් සිතුම් පැතුම් කි‍්‍රයාකාරකම් හැඩ ගැසෙන්නේ එම පරිසර සාධක අනුව බව මෙම නිර්මාණය තුළ පැහැදිලිවම හඳුනාගත හැකි කාරණයකි.සමාජය වෙනස් වුවත් පොඩිඑකාගේ පරිසරය ඔහුට කළ බලපෑම මෙම සිනමා කෘතිය පුරාවටම පොඩිඑකාගේ චරිතය නිර්මාණයේදී යොදාගෙන ඇත.

        එමෙන්ම මෙම නිර්මාණය දේශපාලන සාධක හරහා ද කියවීමට හැකි සිනමා නිර්මාණයක් වේ.වර්තමානයට අදාල දේශපාලන චර්්‍යාවන් මෙම බඹර වළල්ල තුළදී අතුළ ලියනගේ විසින් යොදා ගෙන ඇත.මිනීමැරුම්, මත්ද්‍රව්‍ය වෙළදාම්, ලිංගික අතවර, හමුවේ නීතියේ බලාධිකාරය සැකසෙන අයුරු මෙහිදී පෙන්වා දී ඇත.

                මේ කුමන ආකාරයෙන් විමර්ශනයට ලක්කලද බඹර වළල්ල සිනමා කෘතිය තුළින් අධ්‍යක්‍ෂකවරයා ගත් උත්සාහය කැපී පෙනේ.කෙසේ නමුත් මෙම නිබන්ධනය තුළදී උක්ත දැක්වූ ක්‍ෂේත‍්‍රයන් අතුරින් මාක්ස්වාදී සංකල්ප සහ සිග්මන්ඞ් ප්‍රොයිඞ්ගේ යම් යම් සංකල්ප උපයෝගී කොටගෙන සමාජ යථාර්තය බඹර වලල්ල තුළින් ඔප්නංවා සාමාජ ප‍්‍රතිබ්ම්භයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය විචාරාත්මකව ඉදිරිපත් කෙරේ.එයට හේතුව වන්නේ අන් සාධක වලට වඩා විශේෂයෙන් මාක්ස්වාදය තුළින් මෙම සිනමා කෘතිය කියවීම තුළ පැහැදිලි ලෙසම සමාජයේ අප දකින අසන එහෙත් අප නොදකින හා නොඅසන සිදුවීම් ලෙස ඒ දෙස උපේක්‍ෂාවෙන් බලා ක්‍ෂණිකව අමතක කර දමන මිනිසුන් ඇති රටකට මෙම සිනමා කෘතිය බඹරයක්ම වීම නිසා ය.

               මූලිකව මෙම කෘතිය රස විඳීමේ දී මෙහි ඇති සියුම් චරිත තුළින් එළිදකින යථාර්තය තේරුම් ගැනීමට පෙර මාක්ස්වාදී අදහස් කීපයක් වැදගත් වනු ඇත.ජර්මන් දෘෂ්ඨිවාදය සහ කොමියුනිස්ට් ප‍්‍රකාශනය යන ග‍්‍රන්ථ තුළින් මෙම අදහස් ඉදිරිපත් කොට ඇත.අපෝහක භෞතික වාදය නැතහොත් පංති දෙකක ගැටීම තුළින් නව පංතියක් බිහිවීමත් මෙහිදී ධනපති පංතිය විසින් නිර්ධන පංතිය සූරාකෑම ග‍්‍රාමීය සුළු ධනේෂ්වරය සහ නාගරික සුළු ධනේෂ්වරය අතරද දක්නට ලැබෙන බව මාක්ස් දක්වයි. ප‍්‍රාග්ධන සාධක මුල්කොට ගෙන ධනේෂ්වරය විසින් නිර්ධනයින්ව අමානුෂික ලෙස භාවිත භාණ්ඩ හෝ හුවමාරු භාණ්ඩ ලෙස යොදා ගැනීම එහිදී දක්නට ලැබුණු අතර හුදෙක් වෙළඳ භාණ්ඩයෙන් තොරව මානුෂික හැඟීමෙන් බැලීමට ඔවුන් කිසිවිටෙකත් උත්සාහ නොකළහ.

                   බඹර වළල්ලේ ප‍්‍රධාන චරිතය පොඩිඑකා වේ.නමුත් මෙම චිත‍්‍රපටය තුළදී පොඩි එකා චරිත තුනක ස්ථරයන් නියෝජනය කරයි. පොඩි එකාගේ ළමා කාළය ‘වළල්ලේ ’මුල් පුරුක නියොජනය කරන්නකි.එසේ නැතහොත් උපතින්ම ධනේෂ්වරය තුළ වෙළඳ භාණ්ඩයක් බවට පත්වීමට උපතින් උරුමවූ සමාජ සංස්කෘතික සාධක මත පොඩිඑකාට සිදුවේ.ගමේ කසිප්පු මුදලාලි නෙ තමාගේ බාප්පාගේ අතකොලූවක් බවට පත් වන පොඩිඑකා ඔහුගේ යටත් සේවකයකු ලෙස ලාභ ප‍්‍රයොජන සඳහා කටයුතු කරයි..අකුරු නොදත් පොඩි එකා බාප්පගේ කූඨ වෙළඳාමි වලට තම ළමාශ‍්‍රමය දියකර හරී.පොඩි එකා විසින් දකින්නේද බලවතාගේ සූරාකෑමේ සිදුවීම් මාලාවන්ය.බාප්පා විසින් තමන්ගේ මව, සහෝදරිය ලිංගිකව සූරා කෑමට ලක්වීම, සහෝදරිය ගෙල වැළලා ගෙන මරණයට පත් වීම අකුරු නොදත්තද සංසංකෘතිය කියවූ පොඩිඑකාට දෑස් පියා බලාසිටිය නොහැකි කරුණක් බවට පත්වේ.ස්තී‍්‍රත්වය ගම තුළ දකින්නේ තිරිසන් ආකාරයෙනි. මතට ඇබ්බැහි වූ තිරිසන් ගති ඇති මිනිසුන් පුරුෂාධිපත්‍ය සමාජයක් තුළ කාන්තාවට ඇති ස්ථානය හෙවත් ඔවුන්ගේ විඥානය ගොඩ නැගී ඇත් ආකාරය මෙයින් පැහැදිලි වේ. එනම්‘‘මම ඇට හිටවල ගස් වවල ඒ ගස්වල ගෙඩි ඉස්සල්ලම කන මිනිහෙක් ’’ යනුවෙන් සමාජයේ ඇති සදාචාරී නොවුණු ප‍්‍රාථමික සමාජයයේ පවා පිළිකුල් කරනු ලැබූ ආකාරයටය.‘‘මුදල් පසුපස හඹා යාම නිසා මනුෂ්‍යත්වය අවතක්සේරු වන බව ’’ මාක්ස් එදා ප‍්‍රාග්ධනය කෘතියෙන් අවධාරණය කර තිබිණි.

                       මෙම සිදුවීම් මාලාව තුළින් අප දකින යථාර්ථය අද සමාජයේ නියෝජනය වන බව දැකගන්නට හැකිය.මෙහි දැක්වෙන සිදුවීම්වලට වඩා කවර සමාජයක් වුවද අනුමත නොකරන සිදුවීම් අප සමාජය වෙළාගෙන ඇති බව දක්වන්නේ එදිනෙදා පුවත්පත් තුළින් දකින සිදුවීම් වල නිර්දය ස්වභාවය එළිදකින නිසාවෙනි.එහිදී තමන්ගේම දියණියන් බිරියන් ලෙස තබා ගැනීම තම කුසින් වැදූ දරුවන් ගණිකාවන් ලෙස විකිණීම තම ළඟම ඥාතීන් අතින් දූෂණයට ලක් වීම ආදිය අද නිතර දකින්නට ලැබෙන සුළභ සිදුවීම් වේ.

              මෙම සිදුවීම් අඩු අධ්‍යාපනය ඇති මිනිසුන් අතර මෙම ගණුදෙනුව සිදුවීම ගමේ ලක්‍ෂණයක් වන අතර නාගරිකව මෙය සිදුවන්නේ හොර රහසේය.මානුෂීය හැඟීම් සියලූ සත්ත්වයින්ටම පොදු වුවක් වේ.නමුත් එය ප‍්‍රකාශනාත්මක භාවය ගම නගරය තුළ භාවිත වන්නේ දෙවිධියකටය.

              අප සුන්දර පිවිතුරු සංස්කෘතික වශයෙන් දූෂ්‍ය නොවූ සැදැහැතියන් වාසය කරන පෙදෙසක් ලෙසට ගම වර්ණනා කරනුයේ නගරයට සාපේක්‍ෂව වේ.1977 විවෘත ආර්ථිකය ලංකාවට හදුන්වා දීමත් සමඟ විශේෂයෙන් ලංකාවේ ප‍්‍රධාන නගර ඇතිවූ වෙනස්කම් හමුවේ දේශීයත්වය විදේශීය බලවේග හමුවේ මිශ‍්‍ර වීමත් නිසා ධනාත්මක මෙන්ම මහාපරිමාණ වශයෙන් ඍණාත්මක බලවේග ස්ථාපිත වීමට පටන් ගත්හ.1978 සහ 2010 යනු එතරම් ඈත කාලීන පරාසයක් නොවේ.එනම් සාම්ප‍්‍රධායික ගම 1978 ත් නගරය 2010 ත් නියෝජනය කරනවා වැනිය.එහෙත් 1977 ට පෙර තත්ත්වයේම පරිසරයක් අද ගම තුළ දකින්නට නොමැති බව සෑම දෙනාම පිළිගනිති.නගරය විවෘත ආර්ථිකය හමුවේ වෙනස් වූ බවද පැහැදිලිය.මෙහිදී පෙන්වීමට උත්සාහ කළේ තවමත් බොහෝදෙනා ගම විග‍්‍රහ කරනුයේ නගරයට සාපේක්‍ෂව යන්නයි.නමුත් ගම දේශීයත්වයේ සංකේතයද ?

           ගෝනමඩිත්ත යනු මෙයින් එක්තරා ගමක් වේ.නගරය ගම දකින ආකාරයට වඩා ගම විසින් ගම දකින්නේ වෙනස් අයුරකිනි.ගෝනමඩිත්තේ පොඩි එකා අත් දකින්නේ මෙම ගමේ නියම යථාර්ථය වේ.ගමේ පෙනෙන සුන්දරත්වයට යටින් දිවෙන ගමේ අමනුෂ්‍යත්වය එළිදැක්වීම බඔරවළල්ල තුළ මා දකින එක් විශේෂත්වයකි.හරක් හොරකම, ලිංගික සූරාකෑම, මත්පැන් ජාවාරම්.ළමා මෙහෙකරුවන්, මනුෂ්‍යත්වය නොදුටු අමනුෂ්‍යන්, ආදීන් මෙහිදී ගමේ දුෂ්ඨත්වය කියාපායි. එක්තරා ආකාරයට මෙම සිදුවීම් නොදැනුවත්කම හා ගම ලෝකය ලෙස දකින මිනිසුන් මෙන්ම තිරිසන් වු ජානමය ලක්‍ෂණ සහිත මිනිසුන් නිසාවෙන් වීමට හැකිය.ගමේ මෙම සුලූ ලෙස සලකන සිදුවීම් නගරයේ වන්නේ මහා පරිමාණ අයුරිනි.එය බලය ඇත්තන්ගේ පිළිසරණ මතිනි.මහා පරිමාණ කොල්ලකෑම් , ගණිකා මඩම්, පාතාලය ආදී වූ සූක්‍ෂම වූ අයුරින් සිදු වනුයේ නගරය මුල්කරගෙන වේ.මේ නිසා ගම සහ නගරය අතර එතරම් වෙනසක් නොදකින අතර වෙනස වන්නේ ඔවුන් දකින ආකාරය සහ නගරයට සාපේක්‍ෂව ගම කුඩා පරිමාණයෙන් වීමයි.

          මේ නිසා ගෝනමඩිත්ත සාම්ප‍්‍රධායික ගමේ නිරුවත හෙළිකරන්නකි.මෙවන් වූ පොඩි එවුන් දහස් ගණනක් අද සමාජය් නොදකින්නේ ද? අද සමාජයේ දෙමාපියන් අහිමි විශේෂයෙන් මව හෝ පියා විදේශ ගතව සිටීම හෝ පවුලින් දුරස් වී සිටීම පවුල්වල ළමයින් නිසි රැකවරණය නොලැබීම හේතුවෙන් අපයෝජන කටයුතු වලට යොදා ගැනීම අද පුවත්පත් වල සුලභ දසුනකි.මෙවන් තත්ත්වයට පත් වීමට ගෝනමඩිත්තේ පොඩිඑකාටද සිදුවීය.පියා අහිමිව බාප්පාගේ හොර කසිප්පු ජාවාරමට උදව් කිරීමට පොඩි එකාට සිදුවන්නේ මවට කළහැකි දෙයක් ඉතිරිවී නොමැති බැවිනි.තම මව සහ අක්කා ලිංගිකව සූරාකෑම සහ විකිණීම පොඩිඑකා අත්විඳි සිදුවීම් වේ.

                අපරිමිත මව් සෙනෙහස අක්කාගේ ආදරය ලැබීමට තිබූ පොඩිඑකා විවෘත ආර්ථිකය හමුවේ රුපියල් විස්සට ලන්සුවට තැබූ එම ස්ත‍්‍රිත්වය සමාජයයේ එක් පැතිකඩක් මතක් කර දෙනුලබයි.එනම් මාක්ස්වාදී විග‍්‍රහයට අනුව ධනේෂ්වරය මානුෂීය හැඟීම් මුදල නොහොත් ආර්ථිකය යන අධෝව්‍යූහයේ විකිණෙන භාණ්ඩයක් පමණක් බවට පත්වීමයි.අම්මයි අක්කයි මායි යනු ධනේෂ්වරය විසින් සූරාකන්නන්ගේ වත්මන් හා අනාගත පරම්පරාවන් නියෝජනය කරන්නකි.

         සිරගෙදර යනු එක්තරා ආකාරයකට පරම්පරා කිහිපයක, සංස්කෘති කිහිපයක,සමාජ කිහිපයක, අවනීතිය, නිතිය විසින් කොටුකරනු ලැබූ විෂම ස්ථානයකි.පොඩිඑකා සිරගෙදර එන්නේ වරදේ ස්වභාවය, දරුණුකම පිළිබඳ තේරුම්ගෙන නොව හැඟීම් වලට ඉවසිය නොහැකි සිදුවීම් දරාගත නොහැකි වීමේ ප‍්‍රථිපලයක් ලෙසය.නමුත් සිරගෙදරින් සුදු පිරුවට ඇඳ පිටවෙන්නේ ගෝනමඩිත්තේ පෙරසිටි පොඩි එකාමද යන්න ගැටලූවකි.අවනීතිය නැමැති කොටු වූ සමාජය තුළදී කුඩා කාළයේ ලද අත්දැකීම් රටේම රජ කරන බව එහිදී අත් දකින්නට එහිදී හමුවූ අය උපකාර වන්නට ඇත.නැවත ගමට එන පොඩි එකා විකල්වූ තම මව බලාගන්නට උත්සාහ කරනුයේ තම මාමාගේද උපකාර ඇතිව වේ.ළමා කාලයේ සිටි පොඩිඑකා සහ සිරගෙදරින් නිදහස් වූ පොඩි එකා වෙනසක් නොමැතිව පෙරසේම ගම හදුනා ගැනීමට උත්සාහ කරනු ලබයි.පොඩිඑකා සිරගෙදර ලද අත්දැකීම් මෙන්ම ගම ද අතදැකීම් වලට මුහුණ දී අභ්‍යන්තරික වෙනස් වීම් ලබුවද පිටින් පෙනුණු තත්ත්වය මත පොඩි එකා ගම හදුනා ගැනීමට වෙහෙසෙනු ලබයි.

           සුළු ධනේෂ්වරයට ගොඩ වීමට උත්සාහකරන අයෙක් ලෙස මාමාව දැකිය හැකිය.මී හරක් විශාල සංඛ්‍යාවක් සිටි මාමා නැතහොත් ආර්ථික අතින් දියුණු වුවත් සමාජ බලය නැති නිසා එය ලබා ගැනීම උදෙසා පොඩිඑකා පාවිච්චි කරනු ලබයි.ඒ සී සෑමේ තරඟය සඳහා පොඩිඑකා සූදානම් කිරීමත් සමඟිනි.ජීවිතයේ කිසිම දවසක තරඟයක නොයෙදුනු නමුත් ජීවිත තරඟයේ බාධක මතින් දුවන පොඩිඑකාට මෙය එක් තරඟයකි.එම තරඟයේදී ඉදිරියට එන කාහට වුවත් නොපෙනී සිට බිම වැට්ටවීමට උත්සාහ කරන මනුෂ්‍ය ස්වභාවය ජීවිත තරඟයේ අත්දකින්නට හැකි පොදු ස්වභාවයකි.නමුත් ඔවුන් දුවන්නේද එකම රවුමේ එකම පිරිසක් වටේ ය.පොඩිඑකාද මේ යථාර්ථය අත්දකින ලද වුවත් අවසානයේ ජයග‍්‍රහණය කරනු ලබයි.එම ජයග‍්‍රහණය සැබවින් ම ජයග‍්‍රහණයක් වන්නේ ද යන්න මෙම සිනමා කෘතිය තුළ පැහැදිලිව පෙන්වා දී ඇත.මෙම තරඟයේ පොඩි එකා ලොකු වැඩක් කළ අයෙකු ලෙස මාමා සලකන අතර වෙනදාට වඩා පොඩි එකාට සංග‍්‍රහ කරයි.මනුෂ්‍යත්වයට සැලකීමට වඩා තම ලාභ ප‍්‍රයොජන ඇති තැනදී සැලකීම බොහෝ අයගේ ස්වභාවය පසක් කර දෙයි.

              දරුවන් හදා වඩා දහසක් සිහින දකින අනාගතය දකින්නට පෙරුම් පුරන මවකට තම දරුවන් වෙනත් අයෙකුගේ ලිංගික ගොදුරුකරුවන් වීම තම සියැසින්ම දැකීම, තම ආදරණීය පුතණුවන් මිනීමැරුමකට හසුවී මිනීමරුවකු ලෙස සිරගෙට යාමත් ස්වාමියා අහිමිවීමත් යන විඳීමට හා දරා ගැනීමට අපහසු සිදුවීම් පටාචාරවට සේම පොඩිඑකාගේ මවටද එකසේ අත් විඳිින්නට සිදුවීම එම මවට සිහිය විකල්වීමට හේතු නොවන්නේ ද ?එම මව හොර රහසේම නගරයට යන්නේ විකල් මනසින් වුවත් මේ අවනඩුව ලෝකයට කියන්නට නොවේ ද ?නමුත් ලෝකයා එයට ප‍්‍රථිචාර දක්වන්නේ වතුර බාල්දියකිනි.පොඩිඑකා එයට එරෙහි වුවත් මාමා එය වලක්වනු ලබන්නේ ලෝකයා ඉදිරියේ මෙම අවනඩුව ඉදිරිපත් කිරීම ඵලයක් නොවන බැවිනි.මෙය සැබෑ යථාර්ථය නොවේ ද? පංති ධූරාවලිය නිසා ආර්ථිකය අධ්‍යාපනය අහිමි ගමේ මිනිසුන්ට ඉහළ තැන් වලින් සාධාරණය එලෙසම ලැබෙන්නේ නැත.දේශපාලනය හෝ වෙනත් කාරණා නිසා හෝ දුබලයන් ලෙස නිහඩ වීමට ඔවුන්ට සිදුවේ.මේ ආදී සිදුවීම් ලෝකයට ඉදිරිපත් කිරීමෙන් ථලයක් නොමැති නිසා යටගැසුණු මෙවන් සිදුවීම් ගණනය කිරීම නිරර්ථක වන්නේ එතරම් වූ අසාධාරනයන් අබිරහස් ලෙස වැලලී තිබීම නිසාවේ.

            සෑම මිනිසකුම උපතේ දීම සහජ ලක්‍ෂණ රාශියක් අතැතිව ඉපදේ.එහිදී පුද්ගල මනස ක‍්‍රියාත්මක වන්නේ මනෝවිශ්ලේෂණ වාදී න්‍යායට අනුව ED නැමැති තත්වයි.එහිදී අවශ්‍ය හැඟීම් ඒ අවස්ථාවේදීම ඉටුකරගනු ලබයි.තිරිසන් සතුන් තුළ දකින්නට ඇත්තේ මෙම තත්තවය වේ. SUPER EGO තත්ත්වය වන්නේ සදාචාරය සිරිත් විරිත් ආදී සමාජමය වශයෙන් ඇති යහගුණයන්ගෙන් පිරි තත්ත්වයක් වේ.මෙම තත්ත්වය වැඩි වීම ශාන්තුවරයකුගේ ගති ලක්‍ෂණ පෙන්නුම් කරනු ලබයි. EGO තත්ත්වය වනාහි පළමු අවස්ථාවේ සහ දෙවන අවස්ථා සමබර කර ජීවන ශෛලිය පවත්වාගෙන යන්නකි. එනම් මනුෂ්‍ය හැඟිම් නීතිය සදාචාරයට අනුව ප‍්‍රකාශ කිරීම වේ.මෙම අවස්ථා තුනම බඔරවලල්ල තුළදී බොහෝ චරිත තුළ දකින්නට ලැබේ.

              පොඩිඑකා පාසල වෙනුවට සිරගෙදර කොටුවූවෙකි.ළමා අවධියේදී ලද කටුක අත්දැකීම් හා සිරගෙදර සිට ගමට එන පොඩිඑකා තාරුණ්‍යය නියෝජනය කරයි.මෙම වයසේ ඇතිවන හැඟීම් පොඩිඑකාටද එකසේ දැනේ.නමුත් එය සදාචාරය නොමැතිනම් SUPER EGO ජීවිතයේ අඩුවෙන් ලද බැවින් මාමාගේ දුව කෙරෙහි තිබූ ආකර්ෂණය පොඩිඑකා දැක්වූයේ අසම්මත ලෙසිනි.සමාජානුයෝජනය සහ ලැබියයුතු ආරක්‍ෂාව, සෙනෙහස නොලැබෙන විටදී ඒවා ඉටුකරගැනීමට දරණ උත්සාහයන් අවසන් වන්නේ නොසිතූ අයුරින්මය.අද සමාජයයේ බෙහෝ අපරාධ, මංකොල්ලකෑම්, දූෂණ සිදුවන්නේ මෙම තත්ත්වය නිසාවෙන්මය.විශේෂයෙන් පාතාලය වැනි අපරාධ සිදු කරන තැන් වල බොහෝ දෙනා අඩු අධ්‍යාපනය හා අඩු සමාජානුයෝජනය හා අසන දකින දේ ආදී ප‍්‍රශ්න නිසාවෙනි.

             මෙම සිදුවීම් මත මාමා නගරයේ මහා පරිමාණ පාතාලය සේ ගමේ පාතාලය තම බලය ක‍්‍රියාත්මක කර පොඩිඑකාගේ කකුල් දෙක කඩනු ලැබේ.මෙහි විශේෂත්වය වන්නේ පුද්ගලයකුට මනසට පහර දෙනවාට වඩා ඉදිරියට යාමට නොහැකි වන ලෙස කකුල් දෙක කඩාදැමීමය.මෙයින් හැඟවෙන්නේ සූක්‍ෂම ලෙස ගම තුළ කි‍්‍රයාත්මක වන බලවේග නගරයේ මෙන් ප‍්‍රසිද්ධියේ නොවූවත් ගමේ තුළද පවතින බවයි.පොඩි එකාගේ දෙවන ජීවිතය නිමා වන්නේ මෙතැක් සිට වේ.පොඩිඑකාගේ තුන්වන ජීවිතය පටන් ගන්නේ සුන්දර ලෙස දකින ගමේ විඳීමට ඇති සියලූ අසුන්දර සිදුවීම් වල පූර්ණ වශයෙන් දැනුමැත්තේකු ලෙසය.තුන්වන ජීවිතයට පන පොවන්නේ සුලූ ධනේෂ්වරය නියෝජනය කරන සූක්‍ෂම නුවණක් ඇති මැල් නැමැත්තකු විසිනි.ඔහු ධනේෂ්වරය මෙහෙය වන්නේ මල්ශාලාව ප‍්‍රධාන ආර්ථික සම්පත කරගෙනය.මල් ශාලාව ආරම්භ කරනු ලබන්නේ අවසන් වී තොගය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කරමිනි.එයින් සංකේතවත් කරනුයේ විවෘත ආර්ථික ක‍්‍රමය යටතේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් යුගයේ අවසානය නොවේ ද ?. වී ගබඩාව අවසානය මිනීපෙට්ටි සාප්පුව තුළින් පෙන්වන්නේ කෘෂිඅර්ථ ක‍්‍රමයේ මළගම නොවේ ද ?

            ඉන් පසුව ඇතිවන්නේ අපට විවෘත ආර්ථිකය හමුවේ බත වෙනුවට අසාධාරණ ක‍්‍රමෝපායන්ගෙන් ජීවිතය පවත්වාගැනීමට බල කරන ආර්ථික ක‍්‍රමයක උදාවයි. එය මැල් නම් වූ සූක්‍ෂම සුලූ ධනේෂ්වරය මැනවින් චිත‍්‍රනය කරනු ලැබීමකි.පොඩිඑකා දෙවන ජීවිතය ඇරඔුවේ මාමාගේ අධීක්‍ෂණය යටතේ සී සෑමේ පළමු තරඟයෙනි.දෙවන තරඟය අරඔනුයේ පළමු තරඟයේ ජයග‍්‍රහණය දෙස සතුටින් බලා සිටි මැල් මහත්තයාගේ යටතේ ගිනිඅවි තරඟයෙනි.

               ගමෙන් අහමිබෙන් හෝ නගරයට යන පොඩිඑකා සමාජ පරිසරය වෙනස් වීමත් සමඟ ඔහු නව සමාජ ක‍්‍රමය වැළඳ ගැනීමට දරන උත්සාහය මතුව ආවේ පොඩි එකාගේ ගමේ ලත් අත්දැකීම් මඟින් වේ.එනම් සමාජ ක‍්‍රමය සකස් වීමෙහිලා ළමාකාළයේ අත්දැකීම් උපයෝගීවන අයුරු පෙන්වා දී ඇත.මෙයින් අපට හැෙඟන්නේ ළමා ශ‍්‍රමිකයින් වීදි දරුවන් අධ්‍යාපනය නොලද දරුවන්ගේ අනාගතය සකස් වීමේහිලා ඉදිරි අනාගතයේ තත්ත්වය පිළිබඳව දළ සේයාවක් මවා ගතනොහැකිද යන්නයි.මිනිසා සමාජයට අනුරූප වන්නට ගතවන්නේ ඉතා සීමිත වෙලාවකි.එය හොඳ හෝ නරක අතට සිදුවිය හැකිය.

         ”ගමේ හුරු වම් අත...ඒක ටිකක් හරි මදි ,දකුණින් කාපං.....ගමෙන් ගෙනාපු ලොඩක් දේවල් අතාරින්න වෙනවා නැත්නම් අපට අනාගතයක් නෑ හෙටක් නෑ......... ”

                මෙහිදී පැහැදිලිවම මැල් නම් වූ මිනී පෙට්ටි සාප්පු මුදලාලි නැතහොත් සුලූධනේෂවරය පොඩි එකා නැතහොත් පීඩක පන්තිය සූක්‍ෂම හා තියුණු ලෙස එම පරිසරයට හුරු කර ගැනීමේ මෙහෙයුමයි.මෙය වත්මනට අදාලව දැක්වුවහොත් ගමෙන් නගරයට යන තරුණ පිරිස් මෙම ඛේදවාචකයට මුහුණදේ.දෙමාපියන්ට සරණක් වීමට ගමට යන සමහර පිරිස් නගරයේදී ඇති සංස්කෘතියට අනුගත වීම නිසා පළමුව ගමේ සදාචාර අගනාකම් අතහැර දමනු ලබයි.පසුව එම සංස්කෘතියේ හවුල්කරුවන් වී සමාජ විරෝධී ආකාරයෙන් ජීවත්වන අයුරු දැකගත හැකිය.පාතාලය, අවිආයුධ වෙළඳාම, දූෂණ, මංකොල්ලකෑම් සදහා මෙම පිරිසට සහභාගිවීමට සිදුවේ.මෙමඟින් ජීවිත නාස්ති කරගත් විශාල සංඛ්‍යාවක් සමාජය තුළ හදුනාගත හකිය.

            ”ආයුධ පාවිච්චි කරන්න එපා සල්ලි පාවිච්චි කරපන් ” මාක්ස්ට අනුව ආර්ථිකය මිනිසාගේ ප‍්‍රධාන බලවේගය වේ.මෙය නිසිලෙස හදුනාගත් මැල් මහත්තයා පොඩිඑකා නිෂ්පාදන බලවේගය යටතට හුරුකරනු ලබන්නේ මැල්ගේ අවශ්‍යතාවන් සඳහාය.පැහැදිලිවම මා දකින ආකාරයට අද සමාජ ක‍්‍රමය සැකසී තිබෙන ආකාරයට පංතික‍්‍රමය සකස් වී තිබෙන ආකාරයට වත්මන් නූගත් පිරිස ධනහිමි පිරිසගේ අතකොලූ වීම ස්වභාවික කාරණයක් සේ සැළකිය හැකිය.මේ නිසා අධ්‍යාපනයක් නොලැබීම වනාහි වත්මන් ක‍්‍රමය තූළ යටත් මානසිකත්වයක් ඇති කරන්නකි.

               මැල් මහත්තයා සූක්‍ෂම පුද්ගලයෙකු වන අතර ඔහු සමාජයට බොහෝ උදව් කරනු ලබයි. සුළු ධනේශ්වරයේ එක් ලක්‍ෂණයක් ලෙස මාක්ස් සහ එංගල්ස් දුටුවේ සාධාරණය සහ යුක්ති සහගත චර්යාවක් තමන් අගය කරන බව සමාජයට පෙන්වීම කරනු ලබන බවය .එමඟින් මැල් සූරාකෑමට මානුෂික මුහුණුවරක් ලබා දෙයි.අද සමාජයයේ මානුෂික මුහුණු වරින් සිටින බොහෝ දෙනෙකු උදව් කර ලාභ ප‍්‍රයෝජන ලබා ගැනීමට පමණක් යොමුවන පිරිසක් සිටී.හොඳම උදාහරණයක් ලෙසට වත්මන් දේශපාලන වේදිකාව තුළින් මෙය මනාව පෙන්නුම්කර දක්වයි.

                මැල් විශ්ව විද්‍යාලයෙන් පිටවූ තරුණයෙකුගේ මවගේ අවමංගල්‍ය උත්සවයට උදව් කරනු ලබයි.මා දකින ලෙසට මෙයත් පසු ප‍්‍රයෝජන තකා සිදු කළදෙයක් ලෙසට දැක්විය හැකිය.පසුව තමා අසරණ වූ අවස්ථාවේදී ඔහුව හමු වීමට යාම මඟින් එය පෙන්නුම් කරනු ලබයි.මැල් දක්වන ආකාරයට ”අම්මගේ වුනත් ඉතින් අවමංල්ලෙ උත්සවයක් ” මෙමඟින් වත්මන් සිදුවීම් දෙස උපහාසාත්මක දෘෂ්ටියක්් මේ තුළින් හදුනාගත හැකි අතර වත්මන් සමාජය විවරණය නොකරන්නේ ද ? ඇති කාලයේදී දෙමාපියන් අතහැර දමා උවටැන් නොකර සිටින සමහර දරුවන් මවගේ මරණය පියාගේ මරණය මුදල් විශාල ලෙස වියදම් කර ඉහළ වටිනාකමින් යුත් මිනීපෙට්ටි හා මරණයේ සියලූ කටයුතු එම දරුවන්ගේ වත්පොහොසත්කම් ඇතිහැකියාවන් බලපුලූවන්කාරකම් පෙන්වීමට වේදිකාවක් ලෙස සකසා ගන්නා ආකාරය අද සමජයේ සුලභ වී ඇත.

           ධනපතීන්ගේ පෞද්ගලික පලි ගැනීම් මඟින් සිදුවනුයේ නිර්ධනයින්ගේ අවසානයයි.ඔවුන්ගේ පළිගැනීම් සිදුකරනුයේ අසරන මිනිසුන් හරහාය. අවසානයේ මරණයට පත්වන්නේ ද එම දුප්පත් ජනතාවම වේ.මැල්ගේ ව්‍යාපාරයේ හතුරන් ලෙස දුටු අය විනාශ කිරීමට පොඩිඑකා ඇතුලූ සගයින් උපයෝගීකර ගනී.අවසානයේ දෙපිරිසේම මරණ සිදුවන්නේ එම පිරිසම වේ.මේ අනුව අදද මිනිසුන්ගේ ලෞකික අවශ්‍යතා වෙනුවෙන් සුලූ ලාභයන් වෙනුවෙන් මරණයෙන් පළිගැනීම් සිදුවන අයුරු එදිනෙදා දැකගන්නට හැකි සිදුවීමිය.අනෙක් අතට කුරිරු යුද්ධයේදී ඔවුන්ගේ බල අරගල වෙනුවෙන් දඩමීමා කරගනු ලැබූයේ අහිංසක දමිළ ජනතාවගේ කුඩාදරුවන්ය.විශේෂයෙන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පුහුණු කරනුයේ ඔවුන්ට නිසි අධ්‍යාපනය නොදී කුඩා අවධියේ සිටමය.පසුව ඔවුන් යුද්ධයේ දී මියගිය පසු ඔවුන්ගේ දෙමාපියන් විඳි දුක් ගැහැට කෙපමණ වන්නට ඇත්ද ?

               මැල් විසින් සිනමා කෘතියේ දී කියනු ලබන පහත ප‍්‍රකාශය මාගේ දැනුමේ හැටියට වත්මන් සමාජයට න්‍යායාත්මක ප‍්‍රවේශයක් මේ තුළින් ගත හැකි බවයි.

” ලස්සනයි කැතයි හොඳයි නරකයි අතරෙ වෙනසක් දකින්නෙ මිනිස්සු තනියෙන් ජීවත්වෙන කොට...මිනිස්සු තවත් මිනිස්සු අතරෙ ජීවත් වෙන්න පටන් ගන්නකොට ඔය හොඳයි නරකයි අතරෙ වෙනසක් නෑ..... ”

         මිනිසා පරිසරයෙන් සමාග‍්‍රහණය කරන දේවල් හරහා තම ජීවිතය නිර්මාණය කර ගනී.වත්මන් සමාජයයේ අප නොදකින යථාර්ථයන් මෙම පරිසරයන් ඔස්සේ කෙසේ සිදුවී ඇත්ද? ඒ නිසා මිනිසා කුරිරු කිරීමට සමාජීය බලවේග බලපාන ආකාරය මෙයින් අවධාරිතය.අද අපරාධකරුවන්ගේ පසුබිම හදුනාගතහොත් මිනිස් ආශ‍්‍රය ඩැඩිවත්ම ඒ සඳහා යොමු වන ප‍්‍රවණතාවය වැඩිවී තිබේ.

            මා දකින ආකාරයට කලාව සමාජය සඳහා විය යුත්තේ එබැවිණී.හොඳ නරක අප සංස්කෘතිය තුළින් අවධාරිත  වුවත් ඒ දෙක අතර අඩු වෙනසක් දකින්නේ එය සාමාන්‍යකරණය වීම නිසාවෙනි.ඒ නිසා අප දකින සුන්දර සමාජයක් ඇත්ද යන්න හදුනා ගැනීම වඩාත් වැදගත්වේ.මිනිසුන්ගේ සංස්කෘතිය සදාචාරය නැති වීමට එක් හේතුවක් ලෙස දුප්පත්කම දැක්විය හැකිය.ආර්ථික බවින් පීඩනය ලබන්නට ලබන්නට මානසික වශයෙන්ද දුප්පත් වේ.කුමාරිගේ චරිතය ගලා යන්නේ සමාජයයේ මෙම අසාධාරණය පසක් කරමිනි.එය ඇයගේ ප‍්‍රකාශයන්ගෙන් පැහැදිලිවේ.

”අපිට ලෝකයක් තිබුන් නෑ..අපේ මුලූලෝකෙම අර රාජගිරයෙ වත්ත ”

”මම මහත්තයා කිව්වේ අපේ ගෙදරවුන් මහත්තයා කියන නිසා.....” -කුමාරි-

”ඉරපායන කල් බලාන හිටිය අහසින් කටට මොනවහරි වැටෙනකම්.” -මැල්මහත්තයා-

              දුකින් පීඩිත වත්මන් සාමාජ කොට්ටාසයක කටුක යථාර්ථය මෙයයි.නාගරීකරණයේ ප‍්‍රථිපලයක් ලෙස ජනයා නගරය තුළ වැඩි වීම නිසා සිදුවූ මුඩුකකු සංස්කෘතියේ ජීවන රටාව මෙයින් පැහැදිලි කරයි.දුප්පත්කම හමුවේ අසරන වන ජනයාගේ ඉරණම සකස් වන්නේ මේ මඟිනි.අඩු අධ්‍යාපනය ඇති එම ජනයා එදාවේල සරිකර ගැනීමේ උත්සාහය නිසා හොඳනරක අතර වෙනසක් දකින්නේ ඉතා අඩුවෙනි.මෙවැනි මුඩුක්කු සමාජයක ගණිකා වෘත්තිය, මත්කුඩු මත්ද්‍රව්‍ය වෙළඳාම පවත්වාගෙන යාමට මෙම සමාජය පුරුදු වී ඇත.අනෙක් අතට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් මේ සඳහා යොමුවීමට තම එදිනෙදා අවශ්‍යතාවයන් මඟ පාදනු ලැබේ.අද කොළඹ මුඩුක්කු සංස්කෘතිය බැලූවහොත් මෙය සැබෑවට දැකගත හැකිය.ඒ නිසා බඹර වලල්ලේ කුමාරි යනු මුඩුක්කුවේ එක් චරිතයක පමණි.මෙවැනි චරිත කොපමණ ඇතද යන්න අමුතුවෙන් කිවයුතුනොවේ.

            මැල් මහත්තයා පොඩිඑකාගෙන් ලබාගතයුතු සියලූ අවශ්‍යතාවයන් උවමනාවන් ලබාගෙන ඔහුව විනාශයට පමුණුවීමට දරණ උත්සාහය වනාහි සැබෑලෙසම ධනේෂ්වරයේ මුඛ්‍ය ලක්‍ෂණයක් වන්නේය.පරාර්ථ කාමී චරිත වෙනුවට වත්මන් සමාජය නියෝජනය කරන ආත්මාර්ථකාමී චරිත මැල් හරහා ඉදිරිපත් කරනු ලබයි.මැල්ගේ අවසානය සැබවින්ම ධනේශ්වරයේ අවසානය ලෙස සමහරුන් සිතන්නට ඇත.නමුත් සිදුනන්නේ එයමද ? මැල් මහත්තයා මල් ශාලාව ගෙන ගියේ මැල් මල්ශාලාව ලෙසිනි.අවසානයේ පොඩිඑකා මල්ශාලාව පටන් ගනුයේ නිව් මැල් මල්ශාලාව යන නමිනි.එනම් මැල්ගේ අවසානය ඉතිරි කළ දේ එම දම්වැලේ අනික් පුරුක වෙමින් ඒ සමාජ ක‍්‍රමයේ තවත් මැල් කෙනෙක් පොඩිඑකා හරහා නිරූපණය වන බවය.නර්තනයේ බඹර වලල්ල තුළ කැරකෙන නර්තන ශිල්පියාට එයින් ඉවත්විම අපහසුසේම ජීවන බඹර වලල්ලේ කැරකෙන්නන්ටද එයින් ඉවත් වීම අපහසුවේ.මේ බඹර වලල්ලෙන් අමාරුවෙන් හෝ ඉවත් වූයේ නැත්නම් අපටද වන්නේ පෙට්ටියක් තෝරාගැනීම නොවේ ද ?

             මෙම සිනමා කෘතිය තුළින් පළමු රූප රාමුව වූ හරක් පැටියාගේ සිට අවසාන මිනීපෙට්ටිය දක්වාම සමාජ යථාර්තය ජනිත කරනබව හදුනාගත හැකිය.කලා කෘතියකින් විය යුත්තේද මෙය වේ.එනම් සමාජය නොතේරෙන්නන්ට සමාජය තේරුම් ගැනීමට, සමාජය නොදකින්නන්ට දෑස් හැර සමාජයයේ යථාර්ත ප‍්‍රථිරූපය බලා ගැනීමට ඉඩසැලසීමයි.ඒ අනුව බැලූවහොත් බඹර වළල්ල මෙයට සාධාරනය ඉටුනර ඇත.මෙ සෑම චරිතයක්ම අප සමාජයයේ විවධ වේශයෙන් සිටියි.මේ සෑම සිදුවීමක්ම ලූණුඇඹුල් ඇතිව සිදුවේ.ඒ නිසා මා දකිනුයේ තිරිසන් සතකු ලෙසම ඉපිද මිනීපෙට්ටිය දක්වාම කැරකෙන වලල්ල තුළදී වත්මන් සමාජය දකින්නට ඇති එක් පැතිකඩක් මැනවින් මෙහිදී නිරූපණය කිරීම බඹර වළල්ලේ සාර්ථකව සිදුවී ඇති බවයි.

නිගමනය

             පොඩි එකා පවසන ”මේ දේවල් මට තේරෙන් නෑ ” පරිදිම මේ ලෝකයේ බහුතරයක් මිනිසුන්ට බොහෝ දේවල් තේරෙන්නේ නොමැති තරම්ය.තේරුම් ගන්නට උත්සාහ කරන්නේද නැති තරමිය.පොඩි එකා කියූ ඉපදෙනවාට ජීවත්වන මිනිසුන් දහස් ගණනින් සොයා ගැනීමට හැකිය.ජීවිතයේ අර්ථයක් සොයනු වෙනුවට ජීවිතය විනාශ කර ගන්නා පිරිස අතිමහත්ය.මේ සඳහා පැහැදිලිව හේතු සඳහන් කිරීම නිරර්ථක වන්නේ සමාජය එතරම් සංකීර්ණ නිසාවෙනි.මේ සමාජ ජීවිතයේ එක් පැතිකඩක් මෙලෙස බඹර වළල්ල තුළින් සිනමා කෘතියක් ලෙස ඉදිරිපත් කොට තිබීම පැසසිය යුතුවේ.මේ සඳහා තෝරා ගත් චරිත හැසිර වීමේ දී සමාජයයේ ජීවත්වන මිනිසුන්ගේ සැබෑ චරිත වල නිරුවත පැහැදිලිව සංස්පර්ෂ කිරීමට ඔහු සමත් වී ඇති බව කිව යුතුය.

               වර්තමාන සමාජය තුළ ජීවත් වීමේදී අප අසන දකින ලබන දෑ පිළිබඳව එක් ඛණ්ඩයක් ලෙස නොව සමස්ථයක් ලෙස හුවා දක්වා ඇත.එසේ නැතහොත් හරක් පැටියාගේ සිට මිනීපෙට්ටිය දක්වා ජීවන බඹරය කරකැවෙන ආකාරය පෙන්වා දී ඇත.එමඟින් අප දකින සිදුවීමක මතුපිට ස්පර්ෂ කරනු වෙනුවට ඒ දෙස විමර්ශනාත්මක දෘෂ්ඨියකින් බැලීමට මෙම කලා කෘතිය උපයෝගී කර ගත හැකිය.සමාජයේ සිදුවන මිනීමැරුම් මංකොල්ලකෑම් ස්ත‍්‍රිදූෂණ බාලාපචාර ශ‍්‍රම සූරා කෑම ආදී ධනය බලය ලිංගිකත්වය යන්නෙහි අරගලයන් සේම මිනිසුන්ගේ ඊර්ෂ්‍යාවන් ක්‍රෝධය වෛරය යනාදී සිතුවිලි පිළිබඳ මසැස මනැසට තර්ක කරන්නට පුරෝකතනයන් කථෝපකථනයන් කරන්නට මෙම සිනමා කෘතිය පරමාදර්ශී සිනමා කෘතියක් ලෙස උපයෝගිකරගත හැකි බව කිව හැකිය.මෙම කලා කෘතිය අපට කියවීමට හැකි තරම අනුව දිග පළල අනුව අපගේ පෙට්ටිය අපට තෝරා ගත හැකිය.

ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

ගම්ලත්, සුචරිත         -         සෞන්දර්යය විද්‍යා ඉතිහාසය 1999 ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 675, මරදාන පාර කොළඹ 10

මල්ලිකාරච්චි, ඩෙස්මන්ඞ්        -         මාක්ස් වාදය හා සාහිත්‍ය විචාරය 2008 සහශ‍්‍ර ප‍්‍රකාශකයෝ 45, මාලිගා කන්ද පාර කොළඹ 10

සදිසි ත්‍රෛමාසික සිනමා සංග‍්‍රහය ( 2000 අපේ‍්‍රල් ) ශ‍්‍රිලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ප‍්‍රකාශනයක්

සදිසි ත්‍රෛමාසික සිනමා සංග‍්‍රහය ( 2000 ඔක්තොම්බර් ) ශ‍්‍රිලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ප‍්‍රකාශනයක්
Sunday observer – 04 July 2010
Sunday leader – 7 Augest 2010
The island   05 Augest 2010
 
  යූ . එ් . රුවන් කුමාර (BA.sp.(hon), MA- peradeniya, HRM.dip)

දුලභ උපත

                                                  දුලභ උපත

සංසාරේ කරපු පින් අරගෙන
ඇස් දෙක ඇරියෙ
 අමිමගෙයි අප්පචිචිගෙයි
මහමෙරක බර තුන්මං හංදියෙ තනිකරල ලු

දුමිමල සුවද තිස්තුන් කෝටියකට එහා දැනුනෙ
අප්පචිචි  අමිමට ලෙන්ගතුව
අහස බැලුවම නාඹර ගොයමට කිරි වදින්න ලු

ජයසිරි මා හාමුදුරුවන්ට පෙරුමි පුරා බුදු වෙන්න
 දස සීලයන් පුරාගෙන උඩමලුවෙ හීන අහුරු බැන්දෙ
කාසි පනමි රජ වෙන්නලු

අප්පචිචි එහෙම කිවිවෙ අමිමගෙ ලොකු කෙලීට
මල් වතුරේ සුදු
අතපැන් වත්කරන්නලු

අනේ අප්පචිචි
පූදින්න කලියෙන් බඹර තුඩෙි විස පෙති අග හැලුනේ
ඒ පැතුමි පොදි මෙි සංසාරෙට පල නොදෙන්නලුද අප්පචිචී.......


                                 මවි නැති කල
උර හිස මඩලේ කිරිරස දැනුනේ කිරිනැති හින්දද අප්පචිචී
උර හිස මඩලේ නිදිසුව දැනුනේ අතරලු හින්දද අප්පචිචී
උර හිස මඩලේ උණුසුම දැනුනේ දහදිය හින්දද අප්පචිචී
උරහිස මඩලේ තනිනොම දැනුනේ මවිනැති හින්දද අප්පචිචී

යූ. ඒ. රුවන් කුමාර
( BA.sp.(hon), MA- pera, HRM.dip )

ගෝලීයකරණය, ලෝක ද්‍රරිද්‍රතාවය සහ ළමා අපයෝජන



 ගෝලීයකරණය, ලෝක ද්‍රරිද්‍රතාවය සහ ළමා අපයෝජන


ළමයා යනු
             ළමයා යනු කවරෙක් දැයි දැන ගැනීම වැදගත් වන්නේ ළමයා යන්න පුළුල් අර්ථ විග‍්‍රහයක් සමාජය තුළ විසිරී ඇති හෙයිනි. ඒ අනුුව මේ පිළිබඳව දක්වා ඇති තොරතුරු අනුව විවිධ මට්ටමේ නිරිවචන සමුදායක් ඇත.
              ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ ළමයා යන්න නිරිවචනය කරනුයේ ,
A Human being below the age of 18 years of  unless under the low applicable to the child, majority is attained earlier ( http:/en.wikipedia.org/wiki/child ). මෙහිදී දක්වනු ලැබූ අවම වයස් සීමාව පිළිබඳව එක් එක් සමාජයන්හී වෙනස් වන බව දක්නට ඇත.
              එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනසංඛ්‍යා ව්‍යාප්ති වාර්තාවට අනුව අවුරුදු 9 තෙක් ළමාවිය ලෙසත් අවුරුදු 10-14 තෙක් යෞවනය ලෙසත් අවුරුදු 15-19 වන තෙක් තාරුණ්‍යය ලෙසත් වර්ගීකරණය කර ඇත.  ඇමරිකාවේ ළමාවිය නීතිමය වශයෙන්  18 හෝ 21 දී අවසන් වේ. ලංකාවේ නීතිමය තත්ත්වයට අනුව ඔහු හෝ ඇය ජන්දබලය ලබා ගන්නා අවුරුදු 18 ලෙස සලකනු ලබයි. ( කරුණාතිස්ස රූපසිංහ , 1982, 31 ). මේ අනුව ළමා විය පිළිබඳව නිශ්චිත වූ කාල සීමාවන් වෙන් කිරීමක් දකින්නට නොමැත. 

             ජීවවිද්‍යාත්මකව ළමයකු යනු anyone between birth & puberty or in the developmental stage of childhood, between infancy and adulthood.( http:/en.wikipedia.org/wiki/child ). කෙසේ වෙතත් ජීව විද්‍යාත්මක අර්ථකථනයක් ලබා දීම අභ්‍යන්තර වෙනස් වීම් මඟින් සොයාගත හැකි වුවත් ළමාවිය පිළිබඳව සමාජවිද්‍යාත්මක අර්ථකථනයක් දීම අපහසු වන්නේ ළමයා පිළිබඳව විවිධ සංස්කෘතීන්වල විවිධ සමාජවල විවිධ වයස් සීමාවන් ඇති ගැටලූව හෙතුවෙනි.

        උක්ත දැක්වූ ළමා විය තුළදී ඔහුට හෝ ඇයට පවුලෙන් සමාජයෙන් සහ පරිසරයෙන් පූර්ණව යැපෙන්නකු වන අතර මෙම කාලය තුළ ළමයාගේ සංවර්ධනය සඳහා අවශ්‍ය ආහාර, සෞඛ්‍ය පහසුකම්, මවගේ උණුසුම, දෙමාපිය ආරක්‍ෂාව, අධ්‍යාපනය ආදී අවශ්‍යතා ඉටුකළ යුතුය. මෙම ළමා අයිතීන් අවශ්‍යතාවයන් ලෝක ළමා ජනගහණය තුළ ව්‍යාප්තව ඇත්තේ ඒ ඒ සමාජවල ඇති සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ආදී කාරණා හේතු කොට ගෙනය.

ගෝලීයකරණය තුළ ලෝකයේ ළමයින්ගේ තත්ත්වය
          එක්සත් ජාතීන්ගේ සංගණනයට අනුව ලෝක වත්මන් ජනගහණයෙන් 30 ක් පමණ වූ පිරිස නැතහොත් බිලියන 6 1/2 ක් වූ පිරිස අවුරුදු 15 ට අඩු ළමුන් වේ. (Erica g polac off; 2005;259pg )සංවර්ධනය වෙමින් පවතින රටවල සියලූ ළමුන්ගෙන් 25‍% ක් දෙනා ජීවත් වනුයේ අන්ත දුගීභාවයෙනි. මෑතකදී එනම් 2008 දී ලෝක ආහාර මිල ඉහල යාම එම වසරේම ආරම්භ වූ ගෝලීය ආර්ථික අර්බුදය නිසැකයෙන්ම ප‍්‍රබල බලපෑමක් ලෝකයේ දුගීභාවය වර්ධනයට බලපා ඇත (HTTP//gsp.sagepub.com/content/9/1_suppl/175)

              2008 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අනුමානකර ඇති ආකාරයට ගෝලීය මූල්‍ය අර්බුධය ලෝක විරැුකියාව ගැහැණු හා පිරිමි දෙපාර්ශවයම මිලියන 20 කින් වැඩිවන බව හා බොහෝ පවුල් දරිද්‍රතා රේඛාවෙන් පහලට තල්ලූ වීමත් සහ පවුලේ පැවැත්මට තර්ජනයක් වන බවත් පවසා ඇත. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල 25‍% දෙනා ( වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් මන්දපෝෂණයෙන් පෙළෙනු ලබයි. ලෝක ළමා ජනගහණයෙන් මිලියන 200 කට වඩා නැතහොත් 10 ‍% ක් පමණ ශාරීරික හා මානසික ආබාධයකින් හෝ ප‍්‍රමාණවත් ආහාර නොලැබීම නිසාවෙන් ඌන සංවර්ධනයෙන් පෙළෙනු ලබයි (UNICEF ,2000 ). ප‍්‍රමාණවත් ආහාර නොගැනීම වත්මනේ ධනවත් රාජ්‍යයන් තුලද දක්නට ලැබේ.උදාහරණ ලෙස ඇමරිකාවේ මිලියන 12 ක් පමණ ළමුන් ප‍්‍රමාණවත් ආහාර ලබා නොගනී. ද්‍රරිද්‍රතාවය ප‍්‍රමාණවත් ආහාර නොලැබීම සහ පෝෂණ මට්ටම අඩුවීම වැනි සිදුවීම් ගෝලීය ධනවාදය විසින් අවුස්සනු ලැබ ඇති අතර සියල්ලන්ගේම විශේෂයෙන් මව්වරුන් සහ ඔවුන්ගේ ළමුන් සඳහා ජීවිත හා සෞඛ්‍යය අවධානම වැඩිවී ඇත.

             මීට අමතරව UNICEF 2000 දී ගණනය කර ඇති ආකාරයට මිලියන මිලියන 100 ක් වූ පමණ ළමුන් සෑම වසරකම සූරා කෑමට අපයෝජනයට හා ප‍්‍රචන්ඩත්වයට ගොදුරුකරුවන් වේ. එමෙන්ම මිලියන ගණනක් වූ ළමුන් වහලූන් ශ‍්‍රමිකයින් ලෙස විකිණනු ලබන අතර මිලියන 15 ක් පමණ ජාත්‍යන්තර මට්ටමේ ගණිකාවන් ලෙස ජාවාරම් කරුවන් විසින් යොදා ගෙන ඇත. විශේෂයෙන් ආසියාතිකරයේ හා පැසිෆික් කලාපයේ වැඩිවශයෙන් කෘෂිකර්මය තුළ නිෂ්පාදන හා ගෘහස්ථ සේම ඉදිකිරීම් ධීවර වෙළඳාම් සහ අනෙකුත් වීදී ආශ‍්‍රිත වැඩකිරීම්  වලදී ළමයින් සූරා කෑමට ලක් වේ.( http:/gsp.sagepub.com/content/9/1_suppl/182-2009)

            සමස්ථයක් ලෙස මිලියන 250 ක් දෙනා ළමා ශ‍්‍රමිකයින් ලෙස වැඩ කරන අතර එයන් 70 ක් පමණ දෙනා බරපතල එමෙන්ම අනර්ථකාරී වැඩ වල යෙදෙන අතර ඔවුන් විශේෂයෙන් ජීවිත අවධානම ඇති පරිසරයක් තුළ පතල් කර්මාන්ත ශාලා ආදිය තුළ වැඩ කරන අතර කෘෂි නිෂ්පාදන ආශ‍්‍රිතව යොදා ලනු ලබන කෘමිනාශක හා වෙනත් රසායනික ද්‍රව්‍ය ඇසුරෙහි වැඩ කරනු ලබයි (UNICEF 2005).

           මෙම ශාරීරික වධහිංසාවන් හැරුණුකොට මානසික සහ සාමාජීය වශයෙන් ඇතිවන අවධානම එයට දෙවනි නොවේ. විශේෂයෙන් ගෘහස්ථ ශ‍්‍රමය ගණිකා වෘත්තිය ආදිය නිසා ළමුන් අපචාරවලට පත් වී තිබේ.මේ නිසාවෙන් ළමුන් අනවශ්‍ය ගැබි ගැනීම් වලට ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග ( Sexual Transited Diseases / HIV/AIDS) ආදියට ගොදුරු වීමේ ඉඩකඩ බහුල වේ. මේ නිසා සමාජමය වශයෙන් ප‍්‍රතික්‍ෂේපිත වූ කොන්වූ පිරිසක් බවට පත්වේ. මෙම සමාජමය වශයෙන් ඇතිවන ගර්හාව නිසාවෙන් ඇය ලැජ්ජාවට මානසික වශයෙන් ඇතිවන ආතති තත්වයන්ට පත් වේ. 

ගෝලීයකරණය, ලෝක ද්‍රරිද්‍රතාවය සහ ළමා අපයෝජන

            2001 වර්ෂයේදී ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥයකු සහ ලෝක බැංකුවේ 1997-2000 ජ්‍යේෂ්ඨ උප සභාපති ජෝසප් ස්ටිග්ලිට්ස් Joseph Stieglitz ) ආර්ථික ගෝලීයකරණය අර්ථ දක්වන්නේ ( the remorel of barriers to free trade and the closer intergration of national economies ( stiglitz; 2003; 1) ලෙසය. නිදහස් වෙළඳ ක‍්‍රමයක් ඇති කිරීම සඳහා වූ බාධකයන් ඉවත් කිරීම ප‍්‍රාථමික ජාත්‍යයන්තර වෙළඳ ගිවිසුම් මඟින් ඉටුකර තිබේ. විශේෂයෙන් 1995 දී රටවල් 100 ක්  අතර වූ තීරුබදු හා වෙළඳ ගිවිසම ( General Agreement On Teriffs And Trade –GATT ), ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා එංගලන්තය කැනඩාව මෙක්සිකෝව අතර 1992 දී අත්සන් කෙරුණු උතුරු ඇමෙරිකානු නිදහස් වෙළඳ ගිවිසුම ( North American Free Trade Agreement – NAFTA ) වැදගත් වීඇත.

       මෙම ආකාරයේ වූ නිදහස් වෙළඳ ක‍්‍රමයක් සඳහා බාධක ඉවත් කිරීම තුළ පහසුකම් හා විදෙස් ආයෝජකයන් මෙන්ම ආයෝජනයන් අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් වී තිබේ. මෙම ක‍්‍රමය තුළ මෙම ක‍්‍රමයට හුරු වූ රාජ්‍යයන් තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ණයගැති රාජ්‍යයන් ලෙසට මූල්‍යමය සහය ඉල්ලා සිටින අතර ලෝක බැංකුව තුළින් සහ ජාත්‍යයන්තර මූල්‍ය බැංකුව (IMF)  ආදී සංවිධාන විසින් ආධාර සපයනු ලබයි.  
 
          මෙම ක‍්‍රමය තුළින් පොදු අධ්‍යාපනය සෞඛ්‍යය නිවාස සමාජ ශුභසාධනය ආරක්‍ෂණය ආදී වූ සමවියදම් කපා හැරීමට රාජ්‍ය අංශයේ ශ‍්‍රම බලකාය අඩු කිරීමට වේතන අඩුකිරීමට හෝ අත්හිටුවීමට පොදු හා රාජ්‍ය කර්මාන්ත පෞද්ගලීකරණය කිරීමට විශේෂයෙන් ආයතන හා සම්පත් ( බැංකු, තෙල් සංචිත, පාසල්, විශ්ව විද්‍යාල, මෙන්ම වනාන්තර භූමිය ජලය ආදී ) මුදල් ඒකකයන්ගේ අගය වටිනාකම අඩු කිරීමට හා ඩොලර් කිරීමට අපනයන නිෂ්පාදන වැඩි වීමට ණය පොලී අනුපාතික වැඩිවීම සහ ලෝක වෙළඳපල මට්ටමට ආහාර මිල වැඩි කිරීම ආදිය සිදු වී ඇති අතර මේවා අඩුකිරීම සඳහා ව්‍යූහාත්මකව සැකසූ ප‍්‍රතිපත්තීන් අවශ්‍ය වී ඇත. මෙම නිදහස් වෙළඳ ක‍්‍රමය තුළින් ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන රටවල බහුතරයකගේ අවශ්‍යතා අනවශ්‍යතා ඇවිස්සීමට හේතු වී ඇත.
  
     stiglitz  ප‍්‍රත්‍යක්‍ෂවම ගෝලීයකරණය නිසාවෙන් දියුණුවෙමින් පවතින රටවල දුප්පතුන් ඇති කිරීමට හැකි අතිශය ප‍්‍රබල වූ ව්‍යසනයන් වල බලපෑම් දුටුවේය. එහිදී ඔහුට අනුව ද්‍රරිද්‍රතාවයෙන් ජීවත් වන රටවල විශාල ප‍්‍රමාණයක් වූ ජනතාව හා දුප්පතා හා පෝසතා අතර ඇති පරතරය වැඩිවීම යන කාරණා දෙකේ වැඩිවීම  සහ ද්‍රරිද්‍රතාවයෙන් ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාව මිලියන 100 කින් වැඩි වී තිබේන බව සඳහන් කරයි. මෙය සැබවින්ම සිදු වූයේ සමස්ත ලෝක ආදායම වාර්ෂිකව 2.5 කින් වැඩි වූ අවස්ථාවේදීම සිදු වී ඇත. (Stieglitz , 2003, 5)
 
         දරිද්‍රතාවය වැඩි කිරීමට අමතරව structurel adjustment ලෝක කුසගින්නට විශාල වූ රැකියා විරහිතභාවය පරිසර විනාශයට සහ සමාජ විසරණයට බලපා තිබේ. එමෙන්ම ලෝකය වටා අර්බුද ඇතිකිරීම සුලභ මෙන්ම ගැඔුරු ලෙස ඇති වී තිබේ. රටවල් 100 කට අධික රටවල යුධ ගැටුම් ඇති කර ඇත. ආසියා හා ලතින් ඇමරිකානු රටවල ඇති යුධගැටුම් අර්බුධ දියුණු වෙමින් පවතින රටවල ස්ථාවරත්වයට තර්ජනයක් වී තිබේ  (Stieglitz, 2003, 8).

         ගෝලීයකරණය විසින් වෙන්වූ භූ දේශපාලන භාවයක් ලෙස හදුනා ගත නොහැකි වූ පළමු දෙවන තෙවන ආදී වූ රටවලට අසමාන වූ හතරවන ලෝකයක් නිර්මාණය කර තිබේ ( Castells , 1998 , 164 pg ). මෙය උපසහරා  අප‍්‍රිකානු කලාප සේම ලතින් ඇමරිකා හා ආසියාවේ දළිදු රටවල්ද ඇතුලත් වේ. මෙය සෑම රටකම හා සමාජීයව බහිෂ්කරණය වූ නව භූතලයේ සෑම නගරයක් තුලම ඇත. එම ජනගහණය ඇතුලත් වූයේ මිලියන ගණනක් වූ නිවාස අහිමි හිරේට නියම වූ ගණිකාවන් වූ අපරාධකරුවන් වූ තිරිසනුන් බවට පත් වූ කැලැල් කරණයට අවමානයට ලක්වූ ව්‍යාධික වූ සහ සාක්‍ෂරතාවය අහිමි ජනයාගෙනි.

         මේ ආකාරයේ වූ ආර්ථික ගෝලීය කරණය නැතහොත් සමහර පර්යේෂකයන් හදුන්වන ආකාරයට ගෝලීය වර්ණභේද වාදය ( Globle apartheid ) විසින් ලොව පුරා සිතාගත නොහැකි පෙර නොවූවිරූ ලෙසට දරිද්‍රතාවය නිෂ්පාදනය හා ප‍්‍රතිනිෂ්පාදනය කරන අතර මහා පරිමාණ ලෙස සමාජ බහිෂ්කරණය (Social exclusion ) සහ මහත් ධ‍්‍රැවීකරණයක් නිර්මාණය කර තිබේ.

       මෙම ක‍්‍රියාවලියේ දරුණු ප‍්‍රථිඵලයක් ලෙස දරිද්‍රතාවය ළමුන් සූරාකෑමට අපචාරවලට අපරාධවලට පහත්කොට සැලකීමට කැළැල්කරණයට ආදියට ගොදුරුවීමේ නැඔුරුතාවයක් ඇත. දරිද්‍රතාවය ළමුන් විසින් අතින් මනසින් හා හදවතින්ම ( Hand , Heart , Mind ) විඳවනු ලබයි. මේ නිසාවෙන් දරිද්‍රතාවය විසින් ළමුන්ගේ ළමා කාළය ප‍්‍රතික්‍ෂ්ප කර තිබේ. එය ළමුන්ගේ මෙන්ම ජාතියේ අනාගතයද උවදුරේ හෙලීමක් වී ඇත.

ළමයා සහ ළමාකාලය පිළිබඳව වූ සමාජ හා සංස්කෘතික ගොඩනැංවීම්

           ළමයා සහ වැඩිහිටියා යනු වෙනස් වූ වගකීම් සහිත වෙනස් අපේක්‍ෂාවන්ගෙන් හැසිරෙන මෙන්ම වෙනස් සංස්කෘතීන් දෙකක් ලෙසද සඳහන් කළ හැකිය. එසේම ළමයා සහ ළමාවිය පිළිබඳව කාලාත‍්‍රය තුළ සංක‍්‍රමණයේදී සංස්කෘතියකින් සංස්කෘතියකට පමණක් නොව සමාජ පංතිය ස්ත‍්‍රිපුරුෂ භාවය අනුවද වෙනස්වෙන බව හදුනා ගත හැකිය.

    අනුමාන වශයෙන් විශ්වීය වූ දෙයක් ලෙස පුද්ගලයකුගේ ජීවිත පරතරය තුළ ස්වභාවික හෝ ජීව විද්‍යාත්මක දෙයක් ලෙස සීමාංකනය කළද ළමායා සහ ළමාවිය යන වර්ගයන් සාමාජීය හා සංස්කෘතිකව ගොඩනගන ලද්දක් වේ. (James and Prout, 1997,48 )

    ගෝලීයකරණය විසින් මිනිසුන්ගේ ජීවිත තුළ පරිණාමණය වන ජාතීන්  ප‍්‍රජාවන් පවුල් හා අනන්‍යයතාවයන් තුළ සුවිශාල වශයෙන් වෙනස්කම් ඇතිකළ ඉතා සංකීර්ණ වූ වත්මන් ලෝකය තුළ මෙම විශාල සංදර්භයෙන් හුදෙකලාවූ හෝ ව්‍යුක්ත වූ තත්ත්වයක් තුළ සංස්කෘතිකව ළමාවිය  පිළිබඳව විග‍්‍රහ කිරීම උගහටය.පෘථුල ලෙස ව්‍යාප්තව ඇති ගෝලීය බල සමිබන්ධතාවන්ගේ බලපෑම ළමයින්ගේ ජීවිතවලට බලපා ඇත. 

         උදාහරණ වශයෙන්  පිලිපීනයේ හා ඩොමිනිකන් රාජ්‍යය වල ළමුන්ගේ මානසික සෞඛ්‍යය පිරිහීම විනාශය IMF විසින් පනවනු ලැබූ structural adjustment policy වල ඍජු ප‍්‍රථිථලයක් ලෙස හදුනාගනී. එමෙන්ම ජැමෙයිකාවේ අධික ලෙස විරැකියාව වැඩි වීමත් හා ආර්ථික බංකොලොත් භාවය යන සාධක ළමුන් ශ‍්‍රමිකයින් ලෙස යෙදවීමට IMF ප‍්‍රතිපත්ති වල ආරෝපිත ලක්‍ෂණයක් වී තිබේ (Sargent and Harris , 1998 ). එමෙන්ම  නරක අතට හැරුණු ආර්ථික තත්ත්වයන් තුළ එහි අනිවාර්ය ප‍්‍රථිඵලයක් ලෙස ළමුන්ට අධ්‍යාපනයට හා පැවැත්ම සඳහා  වැඩ කිරීමට බ‍්‍රසීලයේ ගෝතමාලා, ටැන්සානියා, බංග්ලාදේශය, ඉංදියා, නේපාල හා පකිස්ථාන රටවල මිලියන ගණනක් වූ දරුවන්ට බලකරනු ලබයි ( UNICEF, 2001)

  සමාජ සේවාවන් ළමා සෞඛ්‍යය යහපැවැත්ම වර්ධනය සහ සංවර්ධනය සැපයීමේ හීන වීමෙන් ඇතිවූ දරිද්‍රතාවය පැතිරුණු ආර්ථික අර්බුදයන් අත්විඳි සෑම ජාතියක්ම අනතුරට පත්වී තිබේ(UNICEF, 2001).
මේ හේතුවෙන් ලොව පුරා වෙසෙන ළමුන් සඳහා විවිධ ආකාරයේ ප‍්‍රශ්නයන්ගෙන් මිදීමට සිදු වී ඇත. ඒ අතර ඔවුන් මුහුණදෙන ළමාශ‍්‍රමය සූරාකෑම අධික වීම ලොව පැතිරුණු වසංගත හා දරිද්‍රතාවය මඟින් ඔවුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්මට තර්ජනයක් වීම ( බඩගින්න හා දුර්වල වූ සනීපාරක්‍ෂාව වැනි ) දේශපාලන ප‍්‍රචන්ඩත්වය සහ යුද්ධයෙන් ස්වාභාවික විපත්වලින් සහ ආර්ථික අවශ්‍යතාවයේ ප‍්‍රථිඵලයක් වන සංක‍්‍රමණයන් අවතැන් වීම් ස්ථානීය වෙනස්වීම් සහ අත්හැරදැමීම් යන ආදිය තුළින් ආරක්‍ෂා වීමට සිදුවී ඇත (Schwartzman ,2001 ,9)

     WORLD BANK , IMF ආදී ජාත්‍යන්තර මූල්‍ය ආයතන NAFTA , CAFTA-DR, PLAN-PUEBLA PANAMA වැනි වෙළඳ ගිවිසුම් මඟින් වූ ආයතන මෙන්ම ANDEAN Region initiative , and   WTO වැනි වෙළඳ සංගම් මඟින් ඇතිකරන පීඩනය හේතුවෙන් මෙම නීති පද්ධතිය කඩ කිරීමට අභ්‍යන්තර වශයෙන් එහෙත් ඍජු බලපෑමක් ඇති කර ඇත. මේ නිසාවෙන් ළමා අයිතීන් ආරක්‍ෂාකිරීම සඳහා ඇති ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තීන් නොසලකා ඇර ඇති බවක් දක්නට ලැබේ.

          මේ නිසාවෙන් ළමයින් කෘෂිකර්මය, කර්මාන්ත හා ගණිකා වෙළඳපල සූරාකෑම් පිළිබඳ වූ විමර්ශනය තුලදී child and child labour වර්ගයන් සමාජීය මෙන්ම සංස්කෘතිකව නිර්මාණය වූ දෙයක් පමණක් නොව ගෝලීය ධනවාදයේ අවශ්‍යතා සහ  ඕනෑඑපාකම් හමුවීම සඳහා දේශපාලන වශයෙන් මෙහෙයවූවක් ලෙස හදුනාගත හැකිය .මෙ නිසාවෙන් ළමා අයිතිවාසිකම් උල්ලංගනය වීම සිදුවනුයේ ගෝලීය ධනවාදයේ රටාව පෝෂණයට සහ ඒ සඳහා නොකඩවා සහාය වන නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ආර්ථික ක‍්‍රියාවලියට ඇති ප‍්‍රතිපත්තීන්හි අනිවාර්ය ප‍්‍රතිථලයක් ලෙසටය. මෙ නිසා ලෝකයේ වෙසෙන දරුවන්ගේ අවශ්‍යතාවයන් සහ  ඕනෑ එපාකම් ආමන්ත‍්‍රණය කිරීම පිණිස ප‍්‍රතිපත්ති සදන්නන් හා සංවර්ධන සැලසුම්කරුවන් ආර්ථික ගෝලීයකරණය සම්භන්ධයෙන් අවශ්‍යයෙන්ම නැවත අධ්‍යනය කළ යුතු අතර බලාත්මක කළහැකි නීති  ස්ථාපිත කිරීමද සිදුකළ යුතුව ඇත.

    ළමා අයිතිවාසිකම් උල්ලංගනය වීම නිසා ළමයින් සතු අයිතිවාසිකම් ජාත්‍යන්තර මිනිස් අයිතිවාසිකම් නීතීන් තුලට ඇතුලත් කර ඇත.මෙම නීතීන් අඩංගු ජාත්‍යන්තර ලියවිලි ප‍්‍රඥ්ඥප්තීන් රාශියක් ඇත. එ් අතර
    01. 1948 එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශය.
    02. 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශය.
    03. 1924 ළමයාගේ අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා ප‍්‍රකාශනය.
    04. 1959 ළමයාගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශය.
    05. 1989 ළමයාගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය.

    එම සම්මුතියේ 2 වන වගන්තිය අනුව රාජ්‍ය පාර්ශවකරුවන් විසින් ළමයාගේ හෝ ළමයාගේ දෙමාපියන්ගේ හෝ නීත්‍යානුකූල භාරකරුවන්ගේ හෝ ජාතිය වර්ණය භාෂාව ආගම දේශපාලන හෝ වෙනත් මත ජාතික ජනවාර්ගික හෝ සමාජයීය මූලාරම්භය දේපල අබලතාවය උපත හෝ වෙනත් තත්ත්වය කුමක් වුවද ඒ නොසලකා කිසිදු ආකාරයක විශේෂණයක් නොකර එක් එක් ළමයා කෙරෙහි මෙම සම්මුතියෙහි දක්වා ඇති අයිතිවාසිකම් ස්වකීය අධිකරණ සීමාව තුළදී ගරුකරනු ලැබිය යුතු අතර ඒවා පිළිගන්නා බවට සහතික වනු ලැබිය යුතුය.

    එමෙන්ම ළමයාගේ දෙමාපියන්ගේ නීත්‍යානුකූල භාරකරුවන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ තත්ත්වය කි‍්‍රයාකාරකම් ප‍්‍රකාශිත අදහස් හෝ විශ්වාසය පදනම් කරගත් සියලූ ආකාරයේ විශේෂයන්ට හෝ දඩුවම් වලට එරෙහිව ළමයා ආරක්‍ෂා වන බවට වග බලා ගැනීම පිණිස සියලූ සුදුසු පියවර රාජ්‍ය පාර්ශවයන් විසින් ගනු ලැබිය යුතුය.( උපාලි ගුණසේකර 2001. 100)


යූ. ඒ. රුවන් කුමාර
( BA.sp.(hon), MA- pera, HRM.dip )