නිදහස් මතවාදිත්වය

නිදහස් මතවාදිත්වය

Monday, November 3, 2014

බඹර වළල්ල, 2010 සිට 2015 දක්වා

බඹර වළල්ල, 2010 සිට 2015 දක්වා


බඹර වළල්ල සිනමා කෘතිය තුළින් විදහා දැක්වීමට උත්සාහ කළ සමාජ    යථාර්තය විචාරයට
2010 සිට 2015 දක්වා

                         
හැඳින්වීම

          සිනමාව හුදෙක් විනෝදය විසූක දස්සනය පමණක් නොව එය ප‍්‍රශස්ත රසවින්දනයක් සඳහා වූ නිමිත්තකි.හොලිවුඩයෙන් ආ එළිෆන්ට් බෝයි, චින්තාමනි, දුලසි, බයිස්කෝප් වේ.බර්ග්මාන්ගේ ෆැනී ඇන්ඞ් ද ඇලෙක්සැන්ඩර්, කුරෝසොවගේ රෂෝමෝන්, සත්‍යජිත් රායිගේ පාතර් පංචලී, සිනමා කෘතීන්ය.මේ සෑම දෙයක්ම චිත‍්‍රපට ලෙස සාමූහිකව හැඳින්විය හැකිය.මේ අතර කලාත්මක මෙන්ම වාණිජ චිත‍්‍රපටද ඇත.ඒවා වින්දනය හා විනෝදය සඳහාද වේ.මේ නිසා චිත‍්‍රපටය අත්‍යවශ්‍යයෙන්ම ජනතාවාදී කලාවක් සේ දැක්විය හැකිය.කෙසේ වෙතත් උසස් රසයක් හො හරයක් හුදී ජනතාව වෙතට සන්නිවේදනය කළ හැක්කේ ප‍්‍රකාශනයේ ඇති නිරවුල් බව හා සරළ බව තුළිනි.

                මේ තුළින් සිංහල සිනමාව තුළ මෑතකදී බිහිවූ බඹර වළල්ලට හිමි ස්ථානය කුමකද? යන්න පිළිබඳව විවිධ විචාරක ප‍්‍රබුද්ධිය අවදි කර ඇත.මෙම ලිපිය තුළින් බඹර වළල්ල තවත් එක් සිනමා කෘතියක් පමණක් ද යන්න පිළිබඳව අවධාරණය කරනු ලබයි.අතුල ලියනගේ ගේ බඹර වළල්ල සිනමා කෘතිය විනදනාත්මක කලා කෘතියක් වශයෙන් සමාජයට ඉටුකරනු ලබන කාර්යය සේම එය හුදෙක්ම සමාජ යථාර්තය විවරණය කර බැලීම මෙහි අරමුණ වේ.හුදු විචාරයක් පමණක් නොව දාර්ශනික ලෙස සෞන්දර්යය කලාව තුළ බඹර වළල්ල සිනමා කෘතිය තුළින් සමාජ යථාර්තය හුවා දක්වන ආකාරය පිළිබඳව යම් කථිකාවක් ගොඩ නැගීම මෙම ලිපිය තුළ සිදුකර ඇත. 

කලාව සහ සිනමාව

           මිනිසා සෞන්දර්යය හා සම්බන්ධ වීම කාල වකවානු තුළ ගොනු කළ නොහැකි පරාසයක් තුළ පැතිරෙන්නක් වන්නේ එහි ඇති පුළුල් සහ සංකීර්ණත්වය නිසාවෙනි.මේ නිසාවෙන් කලාව පිළිබඳ විවිධ විචාර මතයන් ඉතිහාසය පිරික්සීමේදී දැකගන්නට ඇත.18 වන සියවසේ විනෝදාස්වාද මාධ්‍ය බිහිවූ අතර ඒ තුළින් සෞන්දර්යය ක්‍ෂේත‍්‍රය පිළිබඳ නව ආකල්ප ගොඩනැගුණි.කලාව පිළබඳ නව අදහස් රාශියක් ඉදිරිපත් කර ඇත.ඇරිස්ටෝටල්ට අනුව

”කලාව යනු හැඟීම්හි පරිශෝධන බවයි.”

                එනම් කලාවේ පරමාර්ථය ලෙස ඔහු දකින්නේ අවුල් වී ඇති මිනිස් හැඟීම් පිරිසිදු කර එක් අරමුණක් කරා ගෙනඑ්ම බවයි. කාල් මාක්ස් හා ඔහුගේ අනුගාමිකයින් කලාව දකින්නේ මෙලෙසිනි.

”කලාව සෞන්දර්යාත්මක රසවින්දනයන් ලබා දෙන මනඃකල්පිත නිර්මාණයක් නොව පුද්ගල සමාජය වෙත යථාර්ථය විදහාපාන විද්‍යාවක් මෙන්ම සමකාලීන සමාජයේ ආර්ථිකය හා සමාජ තත්වය විදහාපාන්නකි.”

                දාර්ශනිකයකු මෙන්ම සුප‍්‍රකට බුද්ධිමතකු වූ ලියෝ ටෝල්ස්ටෝයි කලාව පිළිබඳ මෙසේ දක්වා ඇත.

”කලාව යනු මිනිසා විසින් දියුණු කරගනු ලැබූ උත්කෘෂ්ඨ වූද, සම්භාව්‍ය වූද , වේදිතයන් අන්‍යයන් වෙත සම්පේ‍්‍රශණය කිරීම අරමුණු කොටගත් මානව කි‍්‍රයාවලියකි.”

                කෙසේ වුවත් මෙම නිර්වචන දෙස බැලීමේදී කලාව සැබවින්ම පුද්ගලයාගේ ඥානය, ආශාව, හැඟීම යන විඥානය අවධි කරවන මාධ්‍යයක් ලෙස කොම්ෙටිට අනුව පෙන්වා දිය හැකිය.මේ හරහා දාර්ශනික ප‍්‍රශ්න ලෙස සෞන්දර්යය විද්‍යාවේ හදුනා ගනු ලැබූ කලාව කලාව සඳහා ය, කලාව සමාජය සඳහාය යන ප‍්‍රශ්න අතුරින් කලාව සමාජය සඳහාය යන ප‍්‍රශ්නය මූලිකව මෙම බඹර වළල්ල සිනමා කෘතිය ගොනු කරනු ලැබේ.

              මිනිස් රසඥතාවය අවධි කිරීමෙහිලා කලාවේ පරම අභිලාෂයක් වන සමාජයට යම්දෙයක් ලබා දීම යන කාරණය මූලිකව අන් කලාවන්ට වඩා සිනමාව ඉදිරියෙන් සිටී. මෑතකදී ආරම්භ වුවත් එය වත්මන් සමාජය තුළ ප‍්‍රබල කාර්්‍යයක් ඉටුකරනු ලබයි.වත්මන් ලාංකීය සිනමාව පිළිබඳ විවිධ කථිකාවත් ඇත.සිනමා නිර්මාණයක් සමාජයේ යථාර්තය එළි දක්වන සමාජයට සේවාවක් කිරීමේ අරමුණෙන් කළ හැකිය.එමෙන්ම වාණිජ පරමාර්ථ මූලිකව ද සිදුකළ හැකිය.මේ දෙකම අයත් වූ චිප‍්‍රපටද විය හැකිය.මේ දෙකම අහිමි චිත‍්‍රපටද තිබිය හැකිය.කෙසේ වුවත් මෑතකදී බිහිවූ සමාජ යථාර්තය එළි දක්වන සිනමා නිර්මාණයක් ලෙස බඹර වළල්ල පෙන්වා දිය හැකිය.යථාර්තය සාමාන්‍ය කරණය වී ඇති සමාජයයේ එහි ඇති සංවේදීතාව මෙම කලා කෘතිය තුළින් සමාජය පිළිබඳ මසැස හා මනැස අවධි කරන්නට සමත් වී ඇත.අප දකින සමාජ වටපිටාවට වඩා එපිටින් ඇති ලෝකය පිළිබඳව සිදුවන සිදුවීම් පිළිබඳව යථාර්තය අවබෝධ කර ගැනීමට අතුල ලියනගේ බඹර වළල්ල සිනමා කෘතිය කෙසේ විවරණය කර ගත හැකිද යන්න සලකා බැලීම වටී.


බඹර වළල්ල , සමාජ යථාර්තය හා අද දවස

                 කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළින් රසවිඳිය හැකි අතර විචාරය කළහැකිය . ඒ අනුව ගෝණමඩිත්තේ පොඩි එකා සහ මැල් මහත්තයා විසින් පණ පොවන මෙම සිනමා කෘතිය විවිධාකාර කෝණ තුළින් අපට බඹර වළල්ලේ අර්ථයන් කියවීමට හැකිවේ.ඒක් අතකින් අපට මාක්ස්වාදී කියවීමක් කිරීමට හැකිය.පොඩි එකාගේ සිට රාළහාමි දක්වාම මාක්ස් වාදී අදහස් තුළින් ඉදිරිපත් කරන සමාජ න්‍යය සංකල්ප ඔස්සේ යමින් මාක්ස්වාදී කියවීමක් මෙම සුවිශේෂී නිර්මාණය තුළ දැක ගන්නට හැකිය. විශේෂයෙන්ම මාක්ස්ගේ පංති විග‍්‍රහයේ සිට බලන විට බඹර වළල්ලේ ඇති සෑම චරිතයක්ම ධනපති පංතියේ බලය විසින් නිර්ධන පංතියේ ශ‍්‍රම සූරාකෑම නිරූපණය කරන්නකි.මාක්ස් වාදී ආකෘතිය තුළ ප‍්‍රාග්ධනය යන කාරණය ආර්ථික සාධක හරහා මෙම පංති දෙකේ ගැටීම තුළින් බඹර වලල්ල කියවීමට හැකිය.

               මනෝ විශ්ලේෂණවාදී ආකෘතියක් මඟින් සිග්මන් ප්‍රොයිඞ් හා ලැගාන් දැක්වූ න්‍යාය ආශ‍්‍රයෙන්ද බඹර වළල්ල තවත් අයෙකුට කියවිය හැකිය.ප්‍රොයිඞ් දැක්වූ ඉඞ්, ඊගෝ, සුපර් ඊගෝ යන මනසේ ආකෘතිය හරහා පොඩි එකාගේ සිට සෑම චරිතයක්ම කියවිය හැකිය.මෙවන් අවස්ථාවලදී පුද්ගලයකු ක‍්‍රියා කරන ආකාරය පිළිබඳව පැහැදිලිව මෙම සිනමා කෘතිය තුළ දකින්නට ලැබේ.

                 මෙහි පැහැදිලිවම පරිසර සාධකත් සමඟත් කියවීමට හැකියි.එනම් මිනිසුන් වෙනස් කරනුයේ පරිසර සාධක මත බව මෙහිදී පැහැදිලිව දක්වා තිබෙන කාරණයක්.පොඩි එකා ගත කරන ජීවිතය ඇතුලේ විවිධ පාරිසරික සාධක වෙනස් වන ආකාරයත් සමඟ පුද්ගල චර්්‍යාවන් සිතුම් පැතුම් කි‍්‍රයාකාරකම් හැඩ ගැසෙන්නේ එම පරිසර සාධක අනුව බව මෙම නිර්මාණය තුළ පැහැදිලිවම හඳුනාගත හැකි කාරණයකි.සමාජය වෙනස් වුවත් පොඩිඑකාගේ පරිසරය ඔහුට කළ බලපෑම මෙම සිනමා කෘතිය පුරාවටම පොඩිඑකාගේ චරිතය නිර්මාණයේදී යොදාගෙන ඇත.

        එමෙන්ම මෙම නිර්මාණය දේශපාලන සාධක හරහා ද කියවීමට හැකි සිනමා නිර්මාණයක් වේ.වර්තමානයට අදාල දේශපාලන චර්්‍යාවන් මෙම බඹර වළල්ල තුළදී අතුළ ලියනගේ විසින් යොදා ගෙන ඇත.මිනීමැරුම්, මත්ද්‍රව්‍ය වෙළදාම්, ලිංගික අතවර, හමුවේ නීතියේ බලාධිකාරය සැකසෙන අයුරු මෙහිදී පෙන්වා දී ඇත.

                මේ කුමන ආකාරයෙන් විමර්ශනයට ලක්කලද බඹර වළල්ල සිනමා කෘතිය තුළින් අධ්‍යක්‍ෂකවරයා ගත් උත්සාහය කැපී පෙනේ.කෙසේ නමුත් මෙම නිබන්ධනය තුළදී උක්ත දැක්වූ ක්‍ෂේත‍්‍රයන් අතුරින් මාක්ස්වාදී සංකල්ප සහ සිග්මන්ඞ් ප්‍රොයිඞ්ගේ යම් යම් සංකල්ප උපයෝගී කොටගෙන සමාජ යථාර්තය බඹර වලල්ල තුළින් ඔප්නංවා සාමාජ ප‍්‍රතිබ්ම්භයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය විචාරාත්මකව ඉදිරිපත් කෙරේ.එයට හේතුව වන්නේ අන් සාධක වලට වඩා විශේෂයෙන් මාක්ස්වාදය තුළින් මෙම සිනමා කෘතිය කියවීම තුළ පැහැදිලි ලෙසම සමාජයේ අප දකින අසන එහෙත් අප නොදකින හා නොඅසන සිදුවීම් ලෙස ඒ දෙස උපේක්‍ෂාවෙන් බලා ක්‍ෂණිකව අමතක කර දමන මිනිසුන් ඇති රටකට මෙම සිනමා කෘතිය බඹරයක්ම වීම නිසා ය.

               මූලිකව මෙම කෘතිය රස විඳීමේ දී මෙහි ඇති සියුම් චරිත තුළින් එළිදකින යථාර්තය තේරුම් ගැනීමට පෙර මාක්ස්වාදී අදහස් කීපයක් වැදගත් වනු ඇත.ජර්මන් දෘෂ්ඨිවාදය සහ කොමියුනිස්ට් ප‍්‍රකාශනය යන ග‍්‍රන්ථ තුළින් මෙම අදහස් ඉදිරිපත් කොට ඇත.අපෝහක භෞතික වාදය නැතහොත් පංති දෙකක ගැටීම තුළින් නව පංතියක් බිහිවීමත් මෙහිදී ධනපති පංතිය විසින් නිර්ධන පංතිය සූරාකෑම ග‍්‍රාමීය සුළු ධනේෂ්වරය සහ නාගරික සුළු ධනේෂ්වරය අතරද දක්නට ලැබෙන බව මාක්ස් දක්වයි. ප‍්‍රාග්ධන සාධක මුල්කොට ගෙන ධනේෂ්වරය විසින් නිර්ධනයින්ව අමානුෂික ලෙස භාවිත භාණ්ඩ හෝ හුවමාරු භාණ්ඩ ලෙස යොදා ගැනීම එහිදී දක්නට ලැබුණු අතර හුදෙක් වෙළඳ භාණ්ඩයෙන් තොරව මානුෂික හැඟීමෙන් බැලීමට ඔවුන් කිසිවිටෙකත් උත්සාහ නොකළහ.

                   බඹර වළල්ලේ ප‍්‍රධාන චරිතය පොඩිඑකා වේ.නමුත් මෙම චිත‍්‍රපටය තුළදී පොඩි එකා චරිත තුනක ස්ථරයන් නියෝජනය කරයි. පොඩි එකාගේ ළමා කාළය ‘වළල්ලේ ’මුල් පුරුක නියොජනය කරන්නකි.එසේ නැතහොත් උපතින්ම ධනේෂ්වරය තුළ වෙළඳ භාණ්ඩයක් බවට පත්වීමට උපතින් උරුමවූ සමාජ සංස්කෘතික සාධක මත පොඩිඑකාට සිදුවේ.ගමේ කසිප්පු මුදලාලි නෙ තමාගේ බාප්පාගේ අතකොලූවක් බවට පත් වන පොඩිඑකා ඔහුගේ යටත් සේවකයකු ලෙස ලාභ ප‍්‍රයොජන සඳහා කටයුතු කරයි..අකුරු නොදත් පොඩි එකා බාප්පගේ කූඨ වෙළඳාමි වලට තම ළමාශ‍්‍රමය දියකර හරී.පොඩි එකා විසින් දකින්නේද බලවතාගේ සූරාකෑමේ සිදුවීම් මාලාවන්ය.බාප්පා විසින් තමන්ගේ මව, සහෝදරිය ලිංගිකව සූරා කෑමට ලක්වීම, සහෝදරිය ගෙල වැළලා ගෙන මරණයට පත් වීම අකුරු නොදත්තද සංසංකෘතිය කියවූ පොඩිඑකාට දෑස් පියා බලාසිටිය නොහැකි කරුණක් බවට පත්වේ.ස්තී‍්‍රත්වය ගම තුළ දකින්නේ තිරිසන් ආකාරයෙනි. මතට ඇබ්බැහි වූ තිරිසන් ගති ඇති මිනිසුන් පුරුෂාධිපත්‍ය සමාජයක් තුළ කාන්තාවට ඇති ස්ථානය හෙවත් ඔවුන්ගේ විඥානය ගොඩ නැගී ඇත් ආකාරය මෙයින් පැහැදිලි වේ. එනම්‘‘මම ඇට හිටවල ගස් වවල ඒ ගස්වල ගෙඩි ඉස්සල්ලම කන මිනිහෙක් ’’ යනුවෙන් සමාජයේ ඇති සදාචාරී නොවුණු ප‍්‍රාථමික සමාජයයේ පවා පිළිකුල් කරනු ලැබූ ආකාරයටය.‘‘මුදල් පසුපස හඹා යාම නිසා මනුෂ්‍යත්වය අවතක්සේරු වන බව ’’ මාක්ස් එදා ප‍්‍රාග්ධනය කෘතියෙන් අවධාරණය කර තිබිණි.

                       මෙම සිදුවීම් මාලාව තුළින් අප දකින යථාර්ථය අද සමාජයේ නියෝජනය වන බව දැකගන්නට හැකිය.මෙහි දැක්වෙන සිදුවීම්වලට වඩා කවර සමාජයක් වුවද අනුමත නොකරන සිදුවීම් අප සමාජය වෙළාගෙන ඇති බව දක්වන්නේ එදිනෙදා පුවත්පත් තුළින් දකින සිදුවීම් වල නිර්දය ස්වභාවය එළිදකින නිසාවෙනි.එහිදී තමන්ගේම දියණියන් බිරියන් ලෙස තබා ගැනීම තම කුසින් වැදූ දරුවන් ගණිකාවන් ලෙස විකිණීම තම ළඟම ඥාතීන් අතින් දූෂණයට ලක් වීම ආදිය අද නිතර දකින්නට ලැබෙන සුළභ සිදුවීම් වේ.

              මෙම සිදුවීම් අඩු අධ්‍යාපනය ඇති මිනිසුන් අතර මෙම ගණුදෙනුව සිදුවීම ගමේ ලක්‍ෂණයක් වන අතර නාගරිකව මෙය සිදුවන්නේ හොර රහසේය.මානුෂීය හැඟීම් සියලූ සත්ත්වයින්ටම පොදු වුවක් වේ.නමුත් එය ප‍්‍රකාශනාත්මක භාවය ගම නගරය තුළ භාවිත වන්නේ දෙවිධියකටය.

              අප සුන්දර පිවිතුරු සංස්කෘතික වශයෙන් දූෂ්‍ය නොවූ සැදැහැතියන් වාසය කරන පෙදෙසක් ලෙසට ගම වර්ණනා කරනුයේ නගරයට සාපේක්‍ෂව වේ.1977 විවෘත ආර්ථිකය ලංකාවට හදුන්වා දීමත් සමඟ විශේෂයෙන් ලංකාවේ ප‍්‍රධාන නගර ඇතිවූ වෙනස්කම් හමුවේ දේශීයත්වය විදේශීය බලවේග හමුවේ මිශ‍්‍ර වීමත් නිසා ධනාත්මක මෙන්ම මහාපරිමාණ වශයෙන් ඍණාත්මක බලවේග ස්ථාපිත වීමට පටන් ගත්හ.1978 සහ 2010 යනු එතරම් ඈත කාලීන පරාසයක් නොවේ.එනම් සාම්ප‍්‍රධායික ගම 1978 ත් නගරය 2010 ත් නියෝජනය කරනවා වැනිය.එහෙත් 1977 ට පෙර තත්ත්වයේම පරිසරයක් අද ගම තුළ දකින්නට නොමැති බව සෑම දෙනාම පිළිගනිති.නගරය විවෘත ආර්ථිකය හමුවේ වෙනස් වූ බවද පැහැදිලිය.මෙහිදී පෙන්වීමට උත්සාහ කළේ තවමත් බොහෝදෙනා ගම විග‍්‍රහ කරනුයේ නගරයට සාපේක්‍ෂව යන්නයි.නමුත් ගම දේශීයත්වයේ සංකේතයද ?

           ගෝනමඩිත්ත යනු මෙයින් එක්තරා ගමක් වේ.නගරය ගම දකින ආකාරයට වඩා ගම විසින් ගම දකින්නේ වෙනස් අයුරකිනි.ගෝනමඩිත්තේ පොඩි එකා අත් දකින්නේ මෙම ගමේ නියම යථාර්ථය වේ.ගමේ පෙනෙන සුන්දරත්වයට යටින් දිවෙන ගමේ අමනුෂ්‍යත්වය එළිදැක්වීම බඔරවළල්ල තුළ මා දකින එක් විශේෂත්වයකි.හරක් හොරකම, ලිංගික සූරාකෑම, මත්පැන් ජාවාරම්.ළමා මෙහෙකරුවන්, මනුෂ්‍යත්වය නොදුටු අමනුෂ්‍යන්, ආදීන් මෙහිදී ගමේ දුෂ්ඨත්වය කියාපායි. එක්තරා ආකාරයට මෙම සිදුවීම් නොදැනුවත්කම හා ගම ලෝකය ලෙස දකින මිනිසුන් මෙන්ම තිරිසන් වු ජානමය ලක්‍ෂණ සහිත මිනිසුන් නිසාවෙන් වීමට හැකිය.ගමේ මෙම සුලූ ලෙස සලකන සිදුවීම් නගරයේ වන්නේ මහා පරිමාණ අයුරිනි.එය බලය ඇත්තන්ගේ පිළිසරණ මතිනි.මහා පරිමාණ කොල්ලකෑම් , ගණිකා මඩම්, පාතාලය ආදී වූ සූක්‍ෂම වූ අයුරින් සිදු වනුයේ නගරය මුල්කරගෙන වේ.මේ නිසා ගම සහ නගරය අතර එතරම් වෙනසක් නොදකින අතර වෙනස වන්නේ ඔවුන් දකින ආකාරය සහ නගරයට සාපේක්‍ෂව ගම කුඩා පරිමාණයෙන් වීමයි.

          මේ නිසා ගෝනමඩිත්ත සාම්ප‍්‍රධායික ගමේ නිරුවත හෙළිකරන්නකි.මෙවන් වූ පොඩි එවුන් දහස් ගණනක් අද සමාජය් නොදකින්නේ ද? අද සමාජයේ දෙමාපියන් අහිමි විශේෂයෙන් මව හෝ පියා විදේශ ගතව සිටීම හෝ පවුලින් දුරස් වී සිටීම පවුල්වල ළමයින් නිසි රැකවරණය නොලැබීම හේතුවෙන් අපයෝජන කටයුතු වලට යොදා ගැනීම අද පුවත්පත් වල සුලභ දසුනකි.මෙවන් තත්ත්වයට පත් වීමට ගෝනමඩිත්තේ පොඩිඑකාටද සිදුවීය.පියා අහිමිව බාප්පාගේ හොර කසිප්පු ජාවාරමට උදව් කිරීමට පොඩි එකාට සිදුවන්නේ මවට කළහැකි දෙයක් ඉතිරිවී නොමැති බැවිනි.තම මව සහ අක්කා ලිංගිකව සූරාකෑම සහ විකිණීම පොඩිඑකා අත්විඳි සිදුවීම් වේ.

                අපරිමිත මව් සෙනෙහස අක්කාගේ ආදරය ලැබීමට තිබූ පොඩිඑකා විවෘත ආර්ථිකය හමුවේ රුපියල් විස්සට ලන්සුවට තැබූ එම ස්ත‍්‍රිත්වය සමාජයයේ එක් පැතිකඩක් මතක් කර දෙනුලබයි.එනම් මාක්ස්වාදී විග‍්‍රහයට අනුව ධනේෂ්වරය මානුෂීය හැඟීම් මුදල නොහොත් ආර්ථිකය යන අධෝව්‍යූහයේ විකිණෙන භාණ්ඩයක් පමණක් බවට පත්වීමයි.අම්මයි අක්කයි මායි යනු ධනේෂ්වරය විසින් සූරාකන්නන්ගේ වත්මන් හා අනාගත පරම්පරාවන් නියෝජනය කරන්නකි.

         සිරගෙදර යනු එක්තරා ආකාරයකට පරම්පරා කිහිපයක, සංස්කෘති කිහිපයක,සමාජ කිහිපයක, අවනීතිය, නිතිය විසින් කොටුකරනු ලැබූ විෂම ස්ථානයකි.පොඩිඑකා සිරගෙදර එන්නේ වරදේ ස්වභාවය, දරුණුකම පිළිබඳ තේරුම්ගෙන නොව හැඟීම් වලට ඉවසිය නොහැකි සිදුවීම් දරාගත නොහැකි වීමේ ප‍්‍රථිපලයක් ලෙසය.නමුත් සිරගෙදරින් සුදු පිරුවට ඇඳ පිටවෙන්නේ ගෝනමඩිත්තේ පෙරසිටි පොඩි එකාමද යන්න ගැටලූවකි.අවනීතිය නැමැති කොටු වූ සමාජය තුළදී කුඩා කාළයේ ලද අත්දැකීම් රටේම රජ කරන බව එහිදී අත් දකින්නට එහිදී හමුවූ අය උපකාර වන්නට ඇත.නැවත ගමට එන පොඩි එකා විකල්වූ තම මව බලාගන්නට උත්සාහ කරනුයේ තම මාමාගේද උපකාර ඇතිව වේ.ළමා කාලයේ සිටි පොඩිඑකා සහ සිරගෙදරින් නිදහස් වූ පොඩි එකා වෙනසක් නොමැතිව පෙරසේම ගම හදුනා ගැනීමට උත්සාහ කරනු ලබයි.පොඩිඑකා සිරගෙදර ලද අත්දැකීම් මෙන්ම ගම ද අතදැකීම් වලට මුහුණ දී අභ්‍යන්තරික වෙනස් වීම් ලබුවද පිටින් පෙනුණු තත්ත්වය මත පොඩි එකා ගම හදුනා ගැනීමට වෙහෙසෙනු ලබයි.

           සුළු ධනේෂ්වරයට ගොඩ වීමට උත්සාහකරන අයෙක් ලෙස මාමාව දැකිය හැකිය.මී හරක් විශාල සංඛ්‍යාවක් සිටි මාමා නැතහොත් ආර්ථික අතින් දියුණු වුවත් සමාජ බලය නැති නිසා එය ලබා ගැනීම උදෙසා පොඩිඑකා පාවිච්චි කරනු ලබයි.ඒ සී සෑමේ තරඟය සඳහා පොඩිඑකා සූදානම් කිරීමත් සමඟිනි.ජීවිතයේ කිසිම දවසක තරඟයක නොයෙදුනු නමුත් ජීවිත තරඟයේ බාධක මතින් දුවන පොඩිඑකාට මෙය එක් තරඟයකි.එම තරඟයේදී ඉදිරියට එන කාහට වුවත් නොපෙනී සිට බිම වැට්ටවීමට උත්සාහ කරන මනුෂ්‍ය ස්වභාවය ජීවිත තරඟයේ අත්දකින්නට හැකි පොදු ස්වභාවයකි.නමුත් ඔවුන් දුවන්නේද එකම රවුමේ එකම පිරිසක් වටේ ය.පොඩිඑකාද මේ යථාර්ථය අත්දකින ලද වුවත් අවසානයේ ජයග‍්‍රහණය කරනු ලබයි.එම ජයග‍්‍රහණය සැබවින් ම ජයග‍්‍රහණයක් වන්නේ ද යන්න මෙම සිනමා කෘතිය තුළ පැහැදිලිව පෙන්වා දී ඇත.මෙම තරඟයේ පොඩි එකා ලොකු වැඩක් කළ අයෙකු ලෙස මාමා සලකන අතර වෙනදාට වඩා පොඩි එකාට සංග‍්‍රහ කරයි.මනුෂ්‍යත්වයට සැලකීමට වඩා තම ලාභ ප‍්‍රයොජන ඇති තැනදී සැලකීම බොහෝ අයගේ ස්වභාවය පසක් කර දෙයි.

              දරුවන් හදා වඩා දහසක් සිහින දකින අනාගතය දකින්නට පෙරුම් පුරන මවකට තම දරුවන් වෙනත් අයෙකුගේ ලිංගික ගොදුරුකරුවන් වීම තම සියැසින්ම දැකීම, තම ආදරණීය පුතණුවන් මිනීමැරුමකට හසුවී මිනීමරුවකු ලෙස සිරගෙට යාමත් ස්වාමියා අහිමිවීමත් යන විඳීමට හා දරා ගැනීමට අපහසු සිදුවීම් පටාචාරවට සේම පොඩිඑකාගේ මවටද එකසේ අත් විඳිින්නට සිදුවීම එම මවට සිහිය විකල්වීමට හේතු නොවන්නේ ද ?එම මව හොර රහසේම නගරයට යන්නේ විකල් මනසින් වුවත් මේ අවනඩුව ලෝකයට කියන්නට නොවේ ද ?නමුත් ලෝකයා එයට ප‍්‍රථිචාර දක්වන්නේ වතුර බාල්දියකිනි.පොඩිඑකා එයට එරෙහි වුවත් මාමා එය වලක්වනු ලබන්නේ ලෝකයා ඉදිරියේ මෙම අවනඩුව ඉදිරිපත් කිරීම ඵලයක් නොවන බැවිනි.මෙය සැබෑ යථාර්ථය නොවේ ද? පංති ධූරාවලිය නිසා ආර්ථිකය අධ්‍යාපනය අහිමි ගමේ මිනිසුන්ට ඉහළ තැන් වලින් සාධාරණය එලෙසම ලැබෙන්නේ නැත.දේශපාලනය හෝ වෙනත් කාරණා නිසා හෝ දුබලයන් ලෙස නිහඩ වීමට ඔවුන්ට සිදුවේ.මේ ආදී සිදුවීම් ලෝකයට ඉදිරිපත් කිරීමෙන් ථලයක් නොමැති නිසා යටගැසුණු මෙවන් සිදුවීම් ගණනය කිරීම නිරර්ථක වන්නේ එතරම් වූ අසාධාරනයන් අබිරහස් ලෙස වැලලී තිබීම නිසාවේ.

            සෑම මිනිසකුම උපතේ දීම සහජ ලක්‍ෂණ රාශියක් අතැතිව ඉපදේ.එහිදී පුද්ගල මනස ක‍්‍රියාත්මක වන්නේ මනෝවිශ්ලේෂණ වාදී න්‍යායට අනුව ED නැමැති තත්වයි.එහිදී අවශ්‍ය හැඟීම් ඒ අවස්ථාවේදීම ඉටුකරගනු ලබයි.තිරිසන් සතුන් තුළ දකින්නට ඇත්තේ මෙම තත්තවය වේ. SUPER EGO තත්ත්වය වන්නේ සදාචාරය සිරිත් විරිත් ආදී සමාජමය වශයෙන් ඇති යහගුණයන්ගෙන් පිරි තත්ත්වයක් වේ.මෙම තත්ත්වය වැඩි වීම ශාන්තුවරයකුගේ ගති ලක්‍ෂණ පෙන්නුම් කරනු ලබයි. EGO තත්ත්වය වනාහි පළමු අවස්ථාවේ සහ දෙවන අවස්ථා සමබර කර ජීවන ශෛලිය පවත්වාගෙන යන්නකි. එනම් මනුෂ්‍ය හැඟිම් නීතිය සදාචාරයට අනුව ප‍්‍රකාශ කිරීම වේ.මෙම අවස්ථා තුනම බඔරවලල්ල තුළදී බොහෝ චරිත තුළ දකින්නට ලැබේ.

              පොඩිඑකා පාසල වෙනුවට සිරගෙදර කොටුවූවෙකි.ළමා අවධියේදී ලද කටුක අත්දැකීම් හා සිරගෙදර සිට ගමට එන පොඩිඑකා තාරුණ්‍යය නියෝජනය කරයි.මෙම වයසේ ඇතිවන හැඟීම් පොඩිඑකාටද එකසේ දැනේ.නමුත් එය සදාචාරය නොමැතිනම් SUPER EGO ජීවිතයේ අඩුවෙන් ලද බැවින් මාමාගේ දුව කෙරෙහි තිබූ ආකර්ෂණය පොඩිඑකා දැක්වූයේ අසම්මත ලෙසිනි.සමාජානුයෝජනය සහ ලැබියයුතු ආරක්‍ෂාව, සෙනෙහස නොලැබෙන විටදී ඒවා ඉටුකරගැනීමට දරණ උත්සාහයන් අවසන් වන්නේ නොසිතූ අයුරින්මය.අද සමාජයයේ බෙහෝ අපරාධ, මංකොල්ලකෑම්, දූෂණ සිදුවන්නේ මෙම තත්ත්වය නිසාවෙන්මය.විශේෂයෙන් පාතාලය වැනි අපරාධ සිදු කරන තැන් වල බොහෝ දෙනා අඩු අධ්‍යාපනය හා අඩු සමාජානුයෝජනය හා අසන දකින දේ ආදී ප‍්‍රශ්න නිසාවෙනි.

             මෙම සිදුවීම් මත මාමා නගරයේ මහා පරිමාණ පාතාලය සේ ගමේ පාතාලය තම බලය ක‍්‍රියාත්මක කර පොඩිඑකාගේ කකුල් දෙක කඩනු ලැබේ.මෙහි විශේෂත්වය වන්නේ පුද්ගලයකුට මනසට පහර දෙනවාට වඩා ඉදිරියට යාමට නොහැකි වන ලෙස කකුල් දෙක කඩාදැමීමය.මෙයින් හැඟවෙන්නේ සූක්‍ෂම ලෙස ගම තුළ කි‍්‍රයාත්මක වන බලවේග නගරයේ මෙන් ප‍්‍රසිද්ධියේ නොවූවත් ගමේ තුළද පවතින බවයි.පොඩි එකාගේ දෙවන ජීවිතය නිමා වන්නේ මෙතැක් සිට වේ.පොඩිඑකාගේ තුන්වන ජීවිතය පටන් ගන්නේ සුන්දර ලෙස දකින ගමේ විඳීමට ඇති සියලූ අසුන්දර සිදුවීම් වල පූර්ණ වශයෙන් දැනුමැත්තේකු ලෙසය.තුන්වන ජීවිතයට පන පොවන්නේ සුලූ ධනේෂ්වරය නියෝජනය කරන සූක්‍ෂම නුවණක් ඇති මැල් නැමැත්තකු විසිනි.ඔහු ධනේෂ්වරය මෙහෙය වන්නේ මල්ශාලාව ප‍්‍රධාන ආර්ථික සම්පත කරගෙනය.මල් ශාලාව ආරම්භ කරනු ලබන්නේ අවසන් වී තොගය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කරමිනි.එයින් සංකේතවත් කරනුයේ විවෘත ආර්ථික ක‍්‍රමය යටතේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් යුගයේ අවසානය නොවේ ද ?. වී ගබඩාව අවසානය මිනීපෙට්ටි සාප්පුව තුළින් පෙන්වන්නේ කෘෂිඅර්ථ ක‍්‍රමයේ මළගම නොවේ ද ?

            ඉන් පසුව ඇතිවන්නේ අපට විවෘත ආර්ථිකය හමුවේ බත වෙනුවට අසාධාරණ ක‍්‍රමෝපායන්ගෙන් ජීවිතය පවත්වාගැනීමට බල කරන ආර්ථික ක‍්‍රමයක උදාවයි. එය මැල් නම් වූ සූක්‍ෂම සුලූ ධනේෂ්වරය මැනවින් චිත‍්‍රනය කරනු ලැබීමකි.පොඩිඑකා දෙවන ජීවිතය ඇරඔුවේ මාමාගේ අධීක්‍ෂණය යටතේ සී සෑමේ පළමු තරඟයෙනි.දෙවන තරඟය අරඔනුයේ පළමු තරඟයේ ජයග‍්‍රහණය දෙස සතුටින් බලා සිටි මැල් මහත්තයාගේ යටතේ ගිනිඅවි තරඟයෙනි.

               ගමෙන් අහමිබෙන් හෝ නගරයට යන පොඩිඑකා සමාජ පරිසරය වෙනස් වීමත් සමඟ ඔහු නව සමාජ ක‍්‍රමය වැළඳ ගැනීමට දරන උත්සාහය මතුව ආවේ පොඩි එකාගේ ගමේ ලත් අත්දැකීම් මඟින් වේ.එනම් සමාජ ක‍්‍රමය සකස් වීමෙහිලා ළමාකාළයේ අත්දැකීම් උපයෝගීවන අයුරු පෙන්වා දී ඇත.මෙයින් අපට හැෙඟන්නේ ළමා ශ‍්‍රමිකයින් වීදි දරුවන් අධ්‍යාපනය නොලද දරුවන්ගේ අනාගතය සකස් වීමේහිලා ඉදිරි අනාගතයේ තත්ත්වය පිළිබඳව දළ සේයාවක් මවා ගතනොහැකිද යන්නයි.මිනිසා සමාජයට අනුරූප වන්නට ගතවන්නේ ඉතා සීමිත වෙලාවකි.එය හොඳ හෝ නරක අතට සිදුවිය හැකිය.

         ”ගමේ හුරු වම් අත...ඒක ටිකක් හරි මදි ,දකුණින් කාපං.....ගමෙන් ගෙනාපු ලොඩක් දේවල් අතාරින්න වෙනවා නැත්නම් අපට අනාගතයක් නෑ හෙටක් නෑ......... ”

                මෙහිදී පැහැදිලිවම මැල් නම් වූ මිනී පෙට්ටි සාප්පු මුදලාලි නැතහොත් සුලූධනේෂවරය පොඩි එකා නැතහොත් පීඩක පන්තිය සූක්‍ෂම හා තියුණු ලෙස එම පරිසරයට හුරු කර ගැනීමේ මෙහෙයුමයි.මෙය වත්මනට අදාලව දැක්වුවහොත් ගමෙන් නගරයට යන තරුණ පිරිස් මෙම ඛේදවාචකයට මුහුණදේ.දෙමාපියන්ට සරණක් වීමට ගමට යන සමහර පිරිස් නගරයේදී ඇති සංස්කෘතියට අනුගත වීම නිසා පළමුව ගමේ සදාචාර අගනාකම් අතහැර දමනු ලබයි.පසුව එම සංස්කෘතියේ හවුල්කරුවන් වී සමාජ විරෝධී ආකාරයෙන් ජීවත්වන අයුරු දැකගත හැකිය.පාතාලය, අවිආයුධ වෙළඳාම, දූෂණ, මංකොල්ලකෑම් සදහා මෙම පිරිසට සහභාගිවීමට සිදුවේ.මෙමඟින් ජීවිත නාස්ති කරගත් විශාල සංඛ්‍යාවක් සමාජය තුළ හදුනාගත හකිය.

            ”ආයුධ පාවිච්චි කරන්න එපා සල්ලි පාවිච්චි කරපන් ” මාක්ස්ට අනුව ආර්ථිකය මිනිසාගේ ප‍්‍රධාන බලවේගය වේ.මෙය නිසිලෙස හදුනාගත් මැල් මහත්තයා පොඩිඑකා නිෂ්පාදන බලවේගය යටතට හුරුකරනු ලබන්නේ මැල්ගේ අවශ්‍යතාවන් සඳහාය.පැහැදිලිවම මා දකින ආකාරයට අද සමාජ ක‍්‍රමය සැකසී තිබෙන ආකාරයට පංතික‍්‍රමය සකස් වී තිබෙන ආකාරයට වත්මන් නූගත් පිරිස ධනහිමි පිරිසගේ අතකොලූ වීම ස්වභාවික කාරණයක් සේ සැළකිය හැකිය.මේ නිසා අධ්‍යාපනයක් නොලැබීම වනාහි වත්මන් ක‍්‍රමය තූළ යටත් මානසිකත්වයක් ඇති කරන්නකි.

               මැල් මහත්තයා සූක්‍ෂම පුද්ගලයෙකු වන අතර ඔහු සමාජයට බොහෝ උදව් කරනු ලබයි. සුළු ධනේශ්වරයේ එක් ලක්‍ෂණයක් ලෙස මාක්ස් සහ එංගල්ස් දුටුවේ සාධාරණය සහ යුක්ති සහගත චර්යාවක් තමන් අගය කරන බව සමාජයට පෙන්වීම කරනු ලබන බවය .එමඟින් මැල් සූරාකෑමට මානුෂික මුහුණුවරක් ලබා දෙයි.අද සමාජයයේ මානුෂික මුහුණු වරින් සිටින බොහෝ දෙනෙකු උදව් කර ලාභ ප‍්‍රයෝජන ලබා ගැනීමට පමණක් යොමුවන පිරිසක් සිටී.හොඳම උදාහරණයක් ලෙසට වත්මන් දේශපාලන වේදිකාව තුළින් මෙය මනාව පෙන්නුම්කර දක්වයි.

                මැල් විශ්ව විද්‍යාලයෙන් පිටවූ තරුණයෙකුගේ මවගේ අවමංගල්‍ය උත්සවයට උදව් කරනු ලබයි.මා දකින ලෙසට මෙයත් පසු ප‍්‍රයෝජන තකා සිදු කළදෙයක් ලෙසට දැක්විය හැකිය.පසුව තමා අසරණ වූ අවස්ථාවේදී ඔහුව හමු වීමට යාම මඟින් එය පෙන්නුම් කරනු ලබයි.මැල් දක්වන ආකාරයට ”අම්මගේ වුනත් ඉතින් අවමංල්ලෙ උත්සවයක් ” මෙමඟින් වත්මන් සිදුවීම් දෙස උපහාසාත්මක දෘෂ්ටියක්් මේ තුළින් හදුනාගත හැකි අතර වත්මන් සමාජය විවරණය නොකරන්නේ ද ? ඇති කාලයේදී දෙමාපියන් අතහැර දමා උවටැන් නොකර සිටින සමහර දරුවන් මවගේ මරණය පියාගේ මරණය මුදල් විශාල ලෙස වියදම් කර ඉහළ වටිනාකමින් යුත් මිනීපෙට්ටි හා මරණයේ සියලූ කටයුතු එම දරුවන්ගේ වත්පොහොසත්කම් ඇතිහැකියාවන් බලපුලූවන්කාරකම් පෙන්වීමට වේදිකාවක් ලෙස සකසා ගන්නා ආකාරය අද සමජයේ සුලභ වී ඇත.

           ධනපතීන්ගේ පෞද්ගලික පලි ගැනීම් මඟින් සිදුවනුයේ නිර්ධනයින්ගේ අවසානයයි.ඔවුන්ගේ පළිගැනීම් සිදුකරනුයේ අසරන මිනිසුන් හරහාය. අවසානයේ මරණයට පත්වන්නේ ද එම දුප්පත් ජනතාවම වේ.මැල්ගේ ව්‍යාපාරයේ හතුරන් ලෙස දුටු අය විනාශ කිරීමට පොඩිඑකා ඇතුලූ සගයින් උපයෝගීකර ගනී.අවසානයේ දෙපිරිසේම මරණ සිදුවන්නේ එම පිරිසම වේ.මේ අනුව අදද මිනිසුන්ගේ ලෞකික අවශ්‍යතා වෙනුවෙන් සුලූ ලාභයන් වෙනුවෙන් මරණයෙන් පළිගැනීම් සිදුවන අයුරු එදිනෙදා දැකගන්නට හැකි සිදුවීමිය.අනෙක් අතට කුරිරු යුද්ධයේදී ඔවුන්ගේ බල අරගල වෙනුවෙන් දඩමීමා කරගනු ලැබූයේ අහිංසක දමිළ ජනතාවගේ කුඩාදරුවන්ය.විශේෂයෙන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පුහුණු කරනුයේ ඔවුන්ට නිසි අධ්‍යාපනය නොදී කුඩා අවධියේ සිටමය.පසුව ඔවුන් යුද්ධයේ දී මියගිය පසු ඔවුන්ගේ දෙමාපියන් විඳි දුක් ගැහැට කෙපමණ වන්නට ඇත්ද ?

               මැල් විසින් සිනමා කෘතියේ දී කියනු ලබන පහත ප‍්‍රකාශය මාගේ දැනුමේ හැටියට වත්මන් සමාජයට න්‍යායාත්මක ප‍්‍රවේශයක් මේ තුළින් ගත හැකි බවයි.

” ලස්සනයි කැතයි හොඳයි නරකයි අතරෙ වෙනසක් දකින්නෙ මිනිස්සු තනියෙන් ජීවත්වෙන කොට...මිනිස්සු තවත් මිනිස්සු අතරෙ ජීවත් වෙන්න පටන් ගන්නකොට ඔය හොඳයි නරකයි අතරෙ වෙනසක් නෑ..... ”

         මිනිසා පරිසරයෙන් සමාග‍්‍රහණය කරන දේවල් හරහා තම ජීවිතය නිර්මාණය කර ගනී.වත්මන් සමාජයයේ අප නොදකින යථාර්ථයන් මෙම පරිසරයන් ඔස්සේ කෙසේ සිදුවී ඇත්ද? ඒ නිසා මිනිසා කුරිරු කිරීමට සමාජීය බලවේග බලපාන ආකාරය මෙයින් අවධාරිතය.අද අපරාධකරුවන්ගේ පසුබිම හදුනාගතහොත් මිනිස් ආශ‍්‍රය ඩැඩිවත්ම ඒ සඳහා යොමු වන ප‍්‍රවණතාවය වැඩිවී තිබේ.

            මා දකින ආකාරයට කලාව සමාජය සඳහා විය යුත්තේ එබැවිණී.හොඳ නරක අප සංස්කෘතිය තුළින් අවධාරිත  වුවත් ඒ දෙක අතර අඩු වෙනසක් දකින්නේ එය සාමාන්‍යකරණය වීම නිසාවෙනි.ඒ නිසා අප දකින සුන්දර සමාජයක් ඇත්ද යන්න හදුනා ගැනීම වඩාත් වැදගත්වේ.මිනිසුන්ගේ සංස්කෘතිය සදාචාරය නැති වීමට එක් හේතුවක් ලෙස දුප්පත්කම දැක්විය හැකිය.ආර්ථික බවින් පීඩනය ලබන්නට ලබන්නට මානසික වශයෙන්ද දුප්පත් වේ.කුමාරිගේ චරිතය ගලා යන්නේ සමාජයයේ මෙම අසාධාරණය පසක් කරමිනි.එය ඇයගේ ප‍්‍රකාශයන්ගෙන් පැහැදිලිවේ.

”අපිට ලෝකයක් තිබුන් නෑ..අපේ මුලූලෝකෙම අර රාජගිරයෙ වත්ත ”

”මම මහත්තයා කිව්වේ අපේ ගෙදරවුන් මහත්තයා කියන නිසා.....” -කුමාරි-

”ඉරපායන කල් බලාන හිටිය අහසින් කටට මොනවහරි වැටෙනකම්.” -මැල්මහත්තයා-

              දුකින් පීඩිත වත්මන් සාමාජ කොට්ටාසයක කටුක යථාර්ථය මෙයයි.නාගරීකරණයේ ප‍්‍රථිපලයක් ලෙස ජනයා නගරය තුළ වැඩි වීම නිසා සිදුවූ මුඩුකකු සංස්කෘතියේ ජීවන රටාව මෙයින් පැහැදිලි කරයි.දුප්පත්කම හමුවේ අසරන වන ජනයාගේ ඉරණම සකස් වන්නේ මේ මඟිනි.අඩු අධ්‍යාපනය ඇති එම ජනයා එදාවේල සරිකර ගැනීමේ උත්සාහය නිසා හොඳනරක අතර වෙනසක් දකින්නේ ඉතා අඩුවෙනි.මෙවැනි මුඩුක්කු සමාජයක ගණිකා වෘත්තිය, මත්කුඩු මත්ද්‍රව්‍ය වෙළඳාම පවත්වාගෙන යාමට මෙම සමාජය පුරුදු වී ඇත.අනෙක් අතට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් මේ සඳහා යොමුවීමට තම එදිනෙදා අවශ්‍යතාවයන් මඟ පාදනු ලැබේ.අද කොළඹ මුඩුක්කු සංස්කෘතිය බැලූවහොත් මෙය සැබෑවට දැකගත හැකිය.ඒ නිසා බඹර වලල්ලේ කුමාරි යනු මුඩුක්කුවේ එක් චරිතයක පමණි.මෙවැනි චරිත කොපමණ ඇතද යන්න අමුතුවෙන් කිවයුතුනොවේ.

            මැල් මහත්තයා පොඩිඑකාගෙන් ලබාගතයුතු සියලූ අවශ්‍යතාවයන් උවමනාවන් ලබාගෙන ඔහුව විනාශයට පමුණුවීමට දරණ උත්සාහය වනාහි සැබෑලෙසම ධනේෂ්වරයේ මුඛ්‍ය ලක්‍ෂණයක් වන්නේය.පරාර්ථ කාමී චරිත වෙනුවට වත්මන් සමාජය නියෝජනය කරන ආත්මාර්ථකාමී චරිත මැල් හරහා ඉදිරිපත් කරනු ලබයි.මැල්ගේ අවසානය සැබවින්ම ධනේශ්වරයේ අවසානය ලෙස සමහරුන් සිතන්නට ඇත.නමුත් සිදුනන්නේ එයමද ? මැල් මහත්තයා මල් ශාලාව ගෙන ගියේ මැල් මල්ශාලාව ලෙසිනි.අවසානයේ පොඩිඑකා මල්ශාලාව පටන් ගනුයේ නිව් මැල් මල්ශාලාව යන නමිනි.එනම් මැල්ගේ අවසානය ඉතිරි කළ දේ එම දම්වැලේ අනික් පුරුක වෙමින් ඒ සමාජ ක‍්‍රමයේ තවත් මැල් කෙනෙක් පොඩිඑකා හරහා නිරූපණය වන බවය.නර්තනයේ බඹර වලල්ල තුළ කැරකෙන නර්තන ශිල්පියාට එයින් ඉවත්විම අපහසුසේම ජීවන බඹර වලල්ලේ කැරකෙන්නන්ටද එයින් ඉවත් වීම අපහසුවේ.මේ බඹර වලල්ලෙන් අමාරුවෙන් හෝ ඉවත් වූයේ නැත්නම් අපටද වන්නේ පෙට්ටියක් තෝරාගැනීම නොවේ ද ?

             මෙම සිනමා කෘතිය තුළින් පළමු රූප රාමුව වූ හරක් පැටියාගේ සිට අවසාන මිනීපෙට්ටිය දක්වාම සමාජ යථාර්තය ජනිත කරනබව හදුනාගත හැකිය.කලා කෘතියකින් විය යුත්තේද මෙය වේ.එනම් සමාජය නොතේරෙන්නන්ට සමාජය තේරුම් ගැනීමට, සමාජය නොදකින්නන්ට දෑස් හැර සමාජයයේ යථාර්ත ප‍්‍රථිරූපය බලා ගැනීමට ඉඩසැලසීමයි.ඒ අනුව බැලූවහොත් බඹර වළල්ල මෙයට සාධාරනය ඉටුනර ඇත.මෙ සෑම චරිතයක්ම අප සමාජයයේ විවධ වේශයෙන් සිටියි.මේ සෑම සිදුවීමක්ම ලූණුඇඹුල් ඇතිව සිදුවේ.ඒ නිසා මා දකිනුයේ තිරිසන් සතකු ලෙසම ඉපිද මිනීපෙට්ටිය දක්වාම කැරකෙන වලල්ල තුළදී වත්මන් සමාජය දකින්නට ඇති එක් පැතිකඩක් මැනවින් මෙහිදී නිරූපණය කිරීම බඹර වළල්ලේ සාර්ථකව සිදුවී ඇති බවයි.

නිගමනය

             පොඩි එකා පවසන ”මේ දේවල් මට තේරෙන් නෑ ” පරිදිම මේ ලෝකයේ බහුතරයක් මිනිසුන්ට බොහෝ දේවල් තේරෙන්නේ නොමැති තරම්ය.තේරුම් ගන්නට උත්සාහ කරන්නේද නැති තරමිය.පොඩි එකා කියූ ඉපදෙනවාට ජීවත්වන මිනිසුන් දහස් ගණනින් සොයා ගැනීමට හැකිය.ජීවිතයේ අර්ථයක් සොයනු වෙනුවට ජීවිතය විනාශ කර ගන්නා පිරිස අතිමහත්ය.මේ සඳහා පැහැදිලිව හේතු සඳහන් කිරීම නිරර්ථක වන්නේ සමාජය එතරම් සංකීර්ණ නිසාවෙනි.මේ සමාජ ජීවිතයේ එක් පැතිකඩක් මෙලෙස බඹර වළල්ල තුළින් සිනමා කෘතියක් ලෙස ඉදිරිපත් කොට තිබීම පැසසිය යුතුවේ.මේ සඳහා තෝරා ගත් චරිත හැසිර වීමේ දී සමාජයයේ ජීවත්වන මිනිසුන්ගේ සැබෑ චරිත වල නිරුවත පැහැදිලිව සංස්පර්ෂ කිරීමට ඔහු සමත් වී ඇති බව කිව යුතුය.

               වර්තමාන සමාජය තුළ ජීවත් වීමේදී අප අසන දකින ලබන දෑ පිළිබඳව එක් ඛණ්ඩයක් ලෙස නොව සමස්ථයක් ලෙස හුවා දක්වා ඇත.එසේ නැතහොත් හරක් පැටියාගේ සිට මිනීපෙට්ටිය දක්වා ජීවන බඹරය කරකැවෙන ආකාරය පෙන්වා දී ඇත.එමඟින් අප දකින සිදුවීමක මතුපිට ස්පර්ෂ කරනු වෙනුවට ඒ දෙස විමර්ශනාත්මක දෘෂ්ඨියකින් බැලීමට මෙම කලා කෘතිය උපයෝගී කර ගත හැකිය.සමාජයේ සිදුවන මිනීමැරුම් මංකොල්ලකෑම් ස්ත‍්‍රිදූෂණ බාලාපචාර ශ‍්‍රම සූරා කෑම ආදී ධනය බලය ලිංගිකත්වය යන්නෙහි අරගලයන් සේම මිනිසුන්ගේ ඊර්ෂ්‍යාවන් ක්‍රෝධය වෛරය යනාදී සිතුවිලි පිළිබඳ මසැස මනැසට තර්ක කරන්නට පුරෝකතනයන් කථෝපකථනයන් කරන්නට මෙම සිනමා කෘතිය පරමාදර්ශී සිනමා කෘතියක් ලෙස උපයෝගිකරගත හැකි බව කිව හැකිය.මෙම කලා කෘතිය අපට කියවීමට හැකි තරම අනුව දිග පළල අනුව අපගේ පෙට්ටිය අපට තෝරා ගත හැකිය.

ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

ගම්ලත්, සුචරිත         -         සෞන්දර්යය විද්‍යා ඉතිහාසය 1999 ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 675, මරදාන පාර කොළඹ 10

මල්ලිකාරච්චි, ඩෙස්මන්ඞ්        -         මාක්ස් වාදය හා සාහිත්‍ය විචාරය 2008 සහශ‍්‍ර ප‍්‍රකාශකයෝ 45, මාලිගා කන්ද පාර කොළඹ 10

සදිසි ත්‍රෛමාසික සිනමා සංග‍්‍රහය ( 2000 අපේ‍්‍රල් ) ශ‍්‍රිලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ප‍්‍රකාශනයක්

සදිසි ත්‍රෛමාසික සිනමා සංග‍්‍රහය ( 2000 ඔක්තොම්බර් ) ශ‍්‍රිලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ප‍්‍රකාශනයක්
Sunday observer – 04 July 2010
Sunday leader – 7 Augest 2010
The island   05 Augest 2010
 
  යූ . එ් . රුවන් කුමාර (BA.sp.(hon), MA- peradeniya, HRM.dip)

No comments:

Post a Comment

don't forget to move on without your value comment