නිදහස් මතවාදිත්වය

නිදහස් මතවාදිත්වය

Thursday, November 13, 2014

සමාජ අධ්‍යයනයේදී න්‍යායික අවශ්‍යතාවය

සමාජ අධ්‍යයනයේදී න්‍යායික අවශ්‍යතාවය
න්‍යායක් යනු කුමක්ද ?

          යමක් බිහිවීමට එහි අවශ්‍යතාවයක් තිබිය යුතුය. න්‍යයායක් යන්න ඇතිවීමෙහිලාද මෙම කරුණ සාධාරණ වේ. න්‍යායක් ඇතිවීමට මූලිකව සමකාලීන සමාජයේ ස්වභාවික විද්‍යාවන්ගේ දියුණුව බලපා තිබේ. සාමාජීය විද්‍යාවන් ඇතිවීමෙහිලාද ස්වභාවික විද්‍යාවන්ගේ බලපෑම ඇතිවිය. පසුව සාමාජීය හා භෞතික විද්‍යාවන් පිළිබඳ විද්‍යාත්මක ක‍්‍රමයන් ගොඩ නැගීමට විද්‍යාඥයින් උත්සාහ කළහ.සාමාජීය විද්‍යාවන් හැදෑරීමේදීත් විද්‍යාත්මක ක‍්‍රමයන් යොදාගත හැකිය යන්න කොම්ටේ ඉදිරිපත් කළහ.සාමාජීය විද්‍යාවන්ගේ ක‍්‍රමෙවිදය උද්ගාමී හා නිගාමී විධික‍්‍රමය මඟින් ගත් ප‍්‍රපංච සාමාන්‍යකරණය කිරීම සිදුවේ.නමුත් ස්වභාවික විද්‍යාවන් තුළදී විද්‍යාත්මක ක‍්‍රමවේදය චක‍්‍රිය කි‍්‍රයාවලියක් ලෙස සකස් වන අතර එහිදී ප‍්‍රපංචයන් පැහැදිලිව හදුනා ගැනීමේ සිට එම ප‍්‍රපංච පිළිබඳ සාමාන්‍යකරණයක් කරා එළඹෙන පියවර කීපයක් ඇත.

               ප‍්‍රපංචය පිළිබඳ අවබෝධක් ලබා ගැනීම,     ප‍්‍රපංචය තුළින් ගැටලූවක් ගොඩ නගා ගැනීම,  ඒ තුළින් උපන්‍යාස ගොඩ නැගීම,  එම උපන්‍යාස ආනුභවික පරීක්‍ෂණයට ලක් කිරීම,  උපන්‍යාස සත්‍යෙක්‍ෂණය හෝ අසත්‍යෙක්‍ෂණය කිරීම,    ප‍්‍රපංචය පිළිබඳ සාමාන්‍යකරණයකට එළැඹීම,   එම ප‍්‍රපංචය න්‍යායක් හෝ වාදයක් ලෙස ස්ථාපිත වීම.

         මේ ආකාරයේ ක‍්‍රියාවලියක් න්‍යායක් ගොඩ නැගීමෙහිදී සිදුවනු ලබයි. නමුත් යම් යම් අවස්ථාවල උපන්‍යාසයක් නොමැතිව අහම්බෙන් වුවද න්‍යායන් ගොඩ නැගීමට පුළුවන. මෙම ක‍්‍රියාවලියෙන් ඔබ්බට ඉබේ පහළවූ අදහස් මත ගොඩනැගුණු න්‍යායන් වාදයන් ඉතිහාසයේ ඇත.

           උදා- අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ වාදය සොයා ගැනීමේ දී ඇපල් ගෙඩියක් හිස මතට වැටීම හේතු කොට ගෙන ඒ පිළිබඳ විමර්ෂණය කිරීමේ ප‍්‍රථිඵලයක් ලෙසට එම න්‍යාය සොයා ගැනුණි.

         කෙසේ වුවද න්‍යායක් ගොඩ නැගීම දීර්ඝකාලීන ක‍්‍රියාවක ප‍්‍රථිඵලයක් ලෙස දැක්විය හැකිය.සමාජය පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කර එය නිගමනයකට ලක්කර ඉදිරිපත් කිරීම න්‍යාය තුළින් සිදුවේ. මෙ හේතුඵල සම්බන්ධයක් පිළිබඳව නිර්මාණය වන්නකි. මෙම න්‍යායන් වලදී වැදගත් වන්නේ සෑම දෙනාටම පොදුවේ භාවිතා කළ හැකිවීමයි.

         මේ ආකාරයේ ස්වභාවික සාමාජීය විද්‍යාවන් තුළ ගොඩනැගූ න්‍යායන් පිළිබඳව විද්‍යාඥයින් විවිධ නිර්වචන ඉදිරිපත් කොට ඇත.න්‍යාය පිළිබඳ දැක්වූ අදහස් අතර
          ”න්‍යායක් යනු යමක් පැහැදිලි කිරීමේදී උපයෝගී කරගනු ලබන අදහස් සමූහයක එකතුවකි.ඒ නිසාම සමාජ ව්ද්‍යාත්මක න්‍යාය යනු මානව සමාජය ව්ග‍්‍රහ කිරීමට උපකාරි වන්නාවූ අදහස් සමූහයන්ගේ එකතුවකි. ”                                                -HARALAMBOOS-         
             එනම් අදහස් සමූහයක් කෙටිව ඉදිරිපත් කිරීමේ ක‍්‍රියාවලිය න්‍යායක් ඉදිරිපත් කිරීම තුළින් සිදුවන බව මෙහිදී කිව හැකිය.එය සමාජවිද්‍යාවට  මෙම න්‍යාය අදාල කර මානව සමාජය විග‍්‍රහ කිරීමට උපකාරිවන අදහස් සමූහයක් බව haralamboos දක්වා ඇත.

               සමාජ විද්‍යාව පිළිබඳ න්‍යායන් රාශියක් ඉදිරිපත් කර ඇති TOM BURN විසින් න්‍යාය අර්ථදක්වා ඇත්තේ ,
            ”සමාජ විද්‍යා න්‍යාය යනු න්‍යායාත්මක වශයෙන් මිනිසාගේ රුචිඅරුචි තත්ත්වයන් මිනිසාගේ බිඳවැවීම් හෝ ජයග‍්‍රහණයන් අපගේ උපාය මාර්ගයන් හෝ විහිදුනු අවස්ථාවන් ආදිය විග‍්‍රහකරනු ලබන විද්‍යාත්මක පරමාදර්ශයයි.”                         -TOM BURN –                                   

            මෙහිදී පුද්ගල මූලික වූ ජීවිත සංසිද්ධීන් විග‍්‍රහ කරන දෙයක් ලෙස ඔහු අදහස් කර ඇත.මේ පිළිබඳ අදහස් දක්වා ඇති තවත් නිර්වචනයක් ලෙස ,

         ”න්‍යාය යනු අප සමාජය දෙස බලන ආකාරය හෝ හෙලනු ලබන යම් යම් දෘෂ්ඨීන් තුළින් ගොඩ නැගෙන ආකෘතියකි.”               -BURNARD & BURGES-         
   
         උක්ත  න්‍යාය පිළිබඳව විවේචන දක්වන BILTON පවසන්නේ වර්තමාන සාමාජීය විද්‍යාවන් තුළ සාමාජීය වූ න්‍යාය ධර්මයන් හදුනාගත නොහැකි බවයි. එයට හේතු ලෙස දක්වන්නේ යම් සිද්ධියක් සම්බන්ධයෙන් ගොඩ නගන ලද න්‍යායක් නිශ්චිත වූ කාල පරිව්ජේදයක් තුළ පමණක් වැදගත් වන බවයි.එමෙන්ම න්‍යායක් ගොඩ නගන පරිසරය වෙනස් වනවාත් සමඟ න්‍යායේ ස්වරූපයද වෙනස් වන බවයි.මෙම හේතුනිසා සර්වවිශ්වීය ලෙස සාමාජීය විද්‍යාවන් තුළ න්‍යාය ගොඩ නැගිය නොහැකි බව BILTON පෙන්වා දෙයි.
          උදා- බටහිර කේන්‍ද්‍රකරගත් න්‍යායාචාර්ය වරුන් ඉදිරිපත් කරන සංකල්ප එලෙසින්ම බටහිර නොවන රටවල් වලට යොදාගත හැකිද යන්නට ඇත්තේ සීමිත ඉඩකඩකි.කාල් මාක්ස්ගේ අපෝහක  භෞතිකවාදය තුළදී පංති දෙකක ගැටුම තුළින් නව පංතියක් බිහිවීම යන සිදුවීම කරණකොට ගෙන සඳහන් කළද මධ්‍යම පංතියක් පිළිබඳව මාක්ස් සඳහන් කොට නොමැත. එය සැබවින්ම අන්තගාමී ස්වරූපයක් වන්නේ අන්ත දෙකින් එකක සාමාජිකයින් වීම නිසාවෙනි. මේ නිසා පැහැදිලිව සාමාජීයවිද්‍යා තුළ න්‍යාය ගොඩ නැගීමේ දී එහි සර්වවිශ්වීය වටිනාකම පිළිබඳව ගැටළුකාරී තත්ත්ව පවතී.

            කෙසේ වෙතත් ආචාරධර්මය දේශපාලන සංස්කෘතික පමණක් නොව ආර්ථික ඇගයුම් සහ සම්බන්ධතා සමාජයක් තුළ ව්‍යූහගතව තිබේ.මේ සියල්ල අඩු හෝ වැඩි වශයෙන් සමාජයක (structure )
ව්‍යූහය සහ කාර්යය කොටස  (function )  නිශ්චය කරනු ඇත. සංකීර්ණ සමාජයන් පමණක් නොව සරල සමාජයන් තේරුම් ගැනීමට පවා න්‍යායන් ඉදිරිපත් කොට තිබේ. මේ නිසාවෙන් සමාජය සංකීර්ණ වීමේ වේගය වැඩි වීමත් නිසා සමාජ කි‍්‍රයාවලීන්ගේ ගුණාත්මකභාවය වැඩි වීමත් නිසා වත්මන් සමාජ ක‍්‍රියාවලිය තේරුම් ගැනීමෙහිලා න්‍යායක අවශ්‍යතාවය බෙහෙවින් අවශ්‍යවේ. කෙසේ වුවත් න්‍යායන් ගොඩ නගමින් සියලූ බුද්ධිමතුන් උත්සාහ කළේ සමාජය හා සමාජ සම්බන්ධතාවන් පහදා දීමේ දී න්‍යායක් අවශ්‍ය වන බවය.
                  ( .මල්ලිකාරච්චි, ඩෙස්මන්ඞ් ,සමාජ විමසුම 12 කලාපය, පිට 49 )
                                      
 න්‍යාය යනු කුමක්ද යන්නට අදහස් දක්වන තවත් විද්‍යඥයකු දක්වන්නේ ,

            ”න්‍යායක් යනු අප විසින් රැස් කරගනු ලැබූ පුරුදු වඩාත් කාර්යක්‍ෂම ලෙස යොදා ගැනීම මෙන්ම යම් අවස්ථාවකට අනුව භාවිතා කළ යුතු අන්දම පිළිබඳව හැඟීමක් ගොඩ නගන්නාවූ මාර්ගයකි. එසේම වඩාත් වැදගත් වන්නේ මෙම පුරුදු සියල්ලම ඉවත් කර දැමිය යුතුද අවශ්‍ය අවස්ථාවන්ට අනුව නව අංගයක් වශයෙන්  ගොඩනැගිය යුතුද යන්න පෙන්වා දෙන්නකි.”       

                             - ඒබ‍්‍රහම් කැප්ලන් -

                     මෙම නිර්වචනය අනුව යම් න්‍යායක් පිළිබඳව සැලකීමේදී න්‍යායකි වෙනස් කරන්නේ ඇයි ? න්‍යායක් වෙනස් කරන්නේ කෙසේ ද? වෙනස් කිරීමේ දී වෙනස් කරන්නේ කුමක්ද ? න්‍යායේ හේතුවාදී කොටසද නැතිනම් ඵලයද යන්න  ? ආදී ප‍්‍රශ්න මතුවේ. උදාහරණයක් ලෙස ලෝකයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ බුදුන් වහන්සේගේ පටිචිචසමුප්පාද න්‍යායක් වශයෙන් මෙම ස්වභාවය පැහැදිලිව හදුනා ගත හැකිය.

            ”න්‍යායක් යනු යම් යම් සිද්ධීන්වල සුවිශේෂී තත්ත්ව විස්තර කරන එහි සබඳතා නිරූපණය කරන සහ විවේචනය සපයන මෙවලම්ය. ”                                          -Dagless kelna -  
           උක්ත නිර්වචන සියල්ලම දෙස බලන විට හදුනාගත හැකි වන්නේ න්‍යායක් වශයෙන් අර්ථ දක්වන්නේ භෞතික හෝ සමාජ ක‍්‍රියාවලියක් පිළිබඳව අත්දැකීම් සම්භාරයක සම්පිණ්ඩනයක් ලෙස දැක්විය හැකිය බවය.
න්‍යායක් යොදා ගැනීමේ දී එහි ප‍්‍රායෝගිකව භාවිතා කිරීමේ දී එය උපයෝගි කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමුකිරීමේ දී ප‍්‍රධාන වශයෙන් කොටස් කීපයක් දැක්විය හැකිය.

    01. සංල්පීය න්‍යායන්                                                                                                                                                      එනම් න්‍යායයේ ඇති සංකල්ප පදනම මූලික අවධානය යොමු කරමින් එහි නිර්මාණාත්මක අධ්‍යයනය යොදා ගැනීම මෙහිදී සිදුවේ.
    02. පරිශීලන ආකෘතිය                                                                                                                                                     මෙහිදී අවධානය යොමුවන්නේ සංකල්පමය පදනම සැකසීමට මූලික වන පසුබිම් වූ කරුණු පිළිබඳව වේ.
    03. බුද්ධීමය ඉව                                                                                                                                                             බුද්ධීමය ඉව නැතහොත් බුද්ධීමය දායකත්වය තුළදී උපන්‍යාසය ප‍්‍රමේයය මෙන්ම උපකල්පන භාවිතය පිළිබඳ අවධානය යොමු කෙරේ.
    04. ප‍්‍රස්තූතය                                                                                                                                                                 ප‍්‍රස්තුතය යන්නෙන් දක්වන්නේ න්‍යාය තුළින් ගොඩනගන්නාවූ සාමාන්‍යකරණයෙහි සුවිශේෂීයත්වය පිළිබඳ ප‍්‍රධාන අවධානය දැක්වීමයි.                                                                                       
    05. න්‍යායේ ආකෘතිය                                                                                                                                                   න්‍යායක් ගොඩ නැගීමට බලපාන ආකෘතිය ලෙස තාර්කික නිගමනය ගණිතමය සූත‍්‍රකරණ හෝ හේතුඵල සම්භන්ධතාවයන් කෙරෙහි අවධානය මෙහිදී යොමුකෙරේ.
    06. පරමාදර්ශී වරය                                                                                                                                                      මෙහිද අවධානය යොමු කරන්නේ අප න්‍යායන් ගොඩ නැගීම සඳහා භාවිතා අධ්‍යයන ක්‍ෂේත‍්‍රය තුළින් ගොඩනගාගනු ලබන අර්ථ නිරූපණ හා විචල්‍ය අතර පවතින රටාමය ස්වභාවය කෙරෙහිය.ඒ අනුව න්‍යායක මෙවැනි සංකල්ප ඉතා වැදගත් වේ.

                  න්‍යායක් හදුනා ගැනීමේදී එම න්‍යායේ ඇති ප‍්‍රධාන ලක්‍ෂණ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.           
          න්‍යායක් හොඳින් නිර්වචනය කරනු ලැබූ සංකල්පයන් සහ තාර්කික අන්තර් සම්භන්ධතාවයන් ගොඩනැගුණු ප‍්‍රස්තුතයන් අන්තර්ගත විය යුතුය. මෙයට උදාහරණයක් වශයෙන් මූලික න්‍යායක් ලෙස ඉදිරිපත් කරනු ලැබූ 1957 දී ව්‍යනුකලනය වූ ගම (the disintegrating village ) නැමැති කෘතිය තුළින් සර්කාර් සහ තම්බයියා විසින් ලංකාවේ ගම්වල ඉඩම් අයිතිය පිළිබඳ දැඩි අසමානතාවයක් පවතින්නේ යයිද න්‍යෂ්ඨික පවුල් ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් වැඩිවී ඇති අතර ඒවායින් බොහොමයකට ඉඩම් අයිතියක් නැතැයිද ප‍්‍රකාශ කළේය.මෙහිදී කුටුම්භයක් හෝ නිවසක් ඔවුන් නිර්වචණය කළේ එක හැළියේ බත් පිසින කණ්ඩායමක් ලෙසටය.නමුත් පිය පාර්ශවයේ නිවසක පදිංචි වන විවාහ වූ දරුවන් එම ඉඩමේම වාසය කළත් න්‍යෂ්ඨික පවුල් ලෙස දැක්විය නොහැකි අතර තවමත් එම ඉඩම් නීතියෙන් ලියාදීම සිදු නොවේ.ඒ නිසා සංකල්ප හොඳින් නිර්වචනය කරනු ලැබූවක් වීම හා තාර්කික අන්තර් සම්භන්ධතාවයන් ගොඩනැගීම වැදගත් වේ. 

                 න්‍යායක් යනු විධිමත් ලෙස සංකේතාත්මකව ගොඩනගන ලද්දක් වන අතර එහි ඇති කරුණු නොපැහැදිලි රටාවකින් යුක්ත වීම හෝ ගුණාත්මක බවින් අඩු තක්සේරුවක් නොතිබෙන ඒවා විය යුතුය. උදාහරණයක් ලෙස 1970 දී බොසෙරප් (boserup ) විසින් දැක්වූ ආකාරයට යැපුම් අර්ථක‍්‍රමයක් පවත්නා එසේම නිෂ්පාදනය සඳහා කාන්තා දායකත්වය අවම වන සමාජ වල දෑවැද්ද ව්‍යූහගත වී ඇතැයි උපකල්පණය කෙරිණි. නමුත් සෑම සමාජවලම දෑවැද්ද දැකිය නොහැකි බැවින් බොසෙරප්ගේ උපකල්පණයන් පිළිබඳ ගෝලින් හා බොස්ටර් (golin & boster ) 1990 දී න්‍යායක් ඉදිරිපත් කරමින් දෑවැද්ද පවතින්නේ ඒක විවාහය හො බහු විවාහය පවතින ස්ථරීකරණය වූ සමාජයන් හි යයි දැක්වීය. මේ නිසා ගුණාත්මක බවින් අඩු න්‍යායන් නොවිය යුතුය.          
                                                                                                                                                                       එසේම  න්‍යායක් යනු ගුණාත්මක වශයෙන් තහවුරු කරගත් සාක්‍ෂිමත ගොඩනගන්නක් වන නිසා ඒ තුළ නිර්මාණාත්මක ක‍්‍රියාවලියක් ද අන්තර්ගත විය යුතුයි.මාක්ස්වාදී න්‍යාය තුළ මෙම නිර්මාණාත්මක කි‍්‍රයාවලියක් අන්තර්ගත වන න්‍යායාත්මක ව්‍යූහයකි.    
           එසේම න්‍යායක් යනු යම් කාල සීමාවකට හෝ දේශයකට සීමාවූ ලක්‍ෂණ වලින් යුක්ත වන නිසා න්‍යායක් සෑම විටම නව සාක්‍ෂි වලින් සහ නව පර්යේෂණයන්ගෙන් ප‍්‍රතිසංස්කරණයට ලක්කළ හැකි දෙයක් විය යුතුය.උදාහරණයක් ලෙස 1992 දී ග්‍රෝස් නැමැති සමාජවිද්‍යඥයා විසින් ස්ත‍්‍රි අනුලෝම විවාහ (female hyper gamy ) හා දෑවැද්ද හේතුවෙන් සිදුවන කි‍්‍රයාවලියක් ලෙස කුස්සියේ ගිණිවලින් ඇතිවන තරුණ විවාහක කාන්තාවන් මියයාම පිළිබඳ දැක්වූ මූලික න්‍යාය දැක්විය හැකිය. ගොස්ගේ මෙම න්‍යායික අර්ථකථනය ඉන්දියාව සම්බන්ධයෙන් පිළිගත හැකි වුවද වෙනත් සමාජයන්හි දෑවැද්ද හා සම්බන්ධ තත්ත්වයන් විග‍්‍රහ කිරීමට යොදා ගත නොහැක.             
  
             න්‍යායක අඩංගු කරුණු සහ සාක්‍ෂි යම්කිසි ආකාරයක න්‍යායාත්මක ක‍්‍රමවේදයකට අනුව සැකසූ ඒවා නිසා එය යමක් තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රාරම්භක පරමාදර්ශයන් ලෙස භාවිතා කළ හැකිවිය යුතුය.    කෘත්‍යවාදී න්‍යාය උපයොගී කොට ගෙන සමාජයයේ ඇති සමාජ ආයතනවල කාර්යභාරය හදුනා ගැනීම සඳහා පරමාදර්ශයක් ලෙස යොදා ගන්නා අවස්ථා අපට දැක ගත හැකිය.   
    
          එසේම න්‍යායක් බොහෝ දෙනාගේ එකඟත්වයෙන් ගොඩ නගන්නාවූ ව්ධිමත් සූත‍්‍රකරණයක් වන අතර ඒ තුළ මිනුම් ඉහළ ප‍්‍රථිශතයකින් යුක්ත වාස්තවික භාවයක් සහ අනාවැකි පලකිරීමේ බලය ඇතුළත් විය යුතුය.සූර්යකේන්‍ද්‍රවාදී න්‍යාය තුළ විධිමත් සූත‍්‍රකරණයක් ඇති අතර එහි ඉහළ ප‍්‍රථිශතයකින් යුත් මිනුම් භාවිතා කරන අතර අනාවැකි පලකිරීමේ බලයක් එහි ඇත.න්‍යායක වලංගුභාවය තක්සේරුකරන විට ප‍්‍රධාන අවධානය යොමු විය යුත්තේ වැදගත් ගැටලූවලට එම න්‍යායන් සාර්ථක විසදුම් දෙන්නේද යන්න සොයා බැලීමටයි.එසේ නොමැතිව මේ න්‍යාය සත්‍යද විධිමත්ද යන්න සොයාබැලීම නොවේ.
            කෙසේ වුවද සමාජ න්‍යායන් කෙරෙහිද අවධානය යොමු කිරීම මෙහි දී වැදගත් වේ.සමාජය සංකීර්ණ වීමේ වේගය වැඩි වීමත් සමාජ ක‍්‍රියාවලීන්ගේ ගුණාත්මකභාවය තීව‍්‍ර වීමත් නිසා අප අකැමති වුවත් අද සමාජ කි‍්‍රයාවලිය තේරුම් ගැනීමට න්‍යායක් අවශ්‍ය වනු ලබයි.එහිදී මෙතෙක් සමාජවිද්‍යාවේ චින්තකයින් ඉදිරිපත් කරනුලැබූ න්‍යායාත්මක ප‍්‍රවේශයන් මූලිකව දැක්විය හැකිය.      
                    
                     19 වන ශත වර්ෂයේ සිටි දැවැන්තයින් වූ ඩුර්කයිම් වෙබර් මාක්ස් ගේ සිට පසුව පාර්සන්ස් ගේ සිට ගිඞ්න්ස් දක්වා ද විවිධ න්‍යාය සමාජ කි‍්‍රයාවලිය විවිධ කෝණවලින් සහ මානයන්ගෙන් විග‍්‍රහ කරමින් සමාජය පිළිබඳ ඥාණයට ගැඹුරක් දුන් අතර අදද න්‍යාය ගොනු කරන හබමාස් වැනිචින්තකයින් ඇත.ඒ අනුව සමාජය අධ්‍යයනය කරන්නෙතුට අනිවාර්යෙන්ම න්‍යායක ශාස්ති‍්‍රය භූමිකාවක් ඇති බව පිළිගත යුතුය.                                                ( මල්ලිකාරච්චි, ඩෙස්මන්ඞ්,සමාජ හා මානව විද්‍යාත්මක ලිපි, පිටු 51   ) 


යූ . එ් . රුවන් කුමාර
         
(BA.sp.(hon), MA- peradeniya, HRM.dip)

9 comments:

don't forget to move on without your value comment